සැඟවුණු කුරු ග්‍රහයා 'හෙජියා' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Apr 15, 2021

සැඟවුණු කුරු ග්‍රහයා 'හෙජියා'

සූර්යයා එසේත් නැතිනම් හිරු ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලය සෞරග්‍රහ මණ්ඩලයයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 කි. තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ග්‍රහලෝකයක් වීමට සුදුසුකම් තුනක් සම්පූර්ණ කළ යුතු වෙයි.

පළමු සුදුසුකම එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු (උප ග්‍රහයකු) නොවිය යුතුය. දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. (ග්‍රහලෝක ගෝලාකාර හැඩයක් ගන්නේ ප්‍රබල ගුරුත්ව බලයක් තිබීම නිසාය.) 

සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල එකම ආකාරයකට හිරු වටා යයි. කුරු ග්‍රහයකු ද පළමු සුදුසුකම් දෙක සම්පූර්ණ කරයි. තෙවැනි සුදුසුකම කුරු ග්‍රහයකුට නැත. කුරු ග්‍රහයකු හිරු වටා යන්නේ ග්‍රහලෝක මෙන් නොවෙයි, වෙනත් මාර්ගයකය. 

එසේ වෙනත් මාර්ගයක ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවී තිබුණු කුරු ග්‍රහලොවක් සොයා ගැනීමට සමත්වුණු තාරකා විද්‍යාඥයන් එම ග්‍රහයා නම් නම් කළේ ග්‍රීක දෙවියකුගේ නමිනි. 

නව කුරු ග්‍රහයාගේ නම ‘හෙජියා’ ය. මෙය අප සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම කුරු ග්‍රහයා ද වෙයි. ඒ අනුව,සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම කුරු ග්‍රහයන් ගණන 6 කි. 

තාරකා විද්‍යාඥයන්ට තවමත් අබිරහසක් වුණු මේ කුරු ග්‍රහලෝකය පිහිටා ඇත්තේ බෘහස්පති සහ අඟහරු අතර ඇති ග්‍රහක වළල්ලේය. 

‘හෙජියා’, අප චන්ද්‍රයාට වඩා දස ගුණයකින් කුඩාය. අලුතින් සොයා ගෙන ‘හෙජියා’ යනුවෙන් නම් තැබුවත්, මේ කුරු ග්‍රහයා ගැන වසර ගණනක් තිස්සේ තාරකා විද්‍යාඥයෝ දැන සිටියහ. ඒ, කුරු ග්‍රහයකු ලෙස නොවෙයි.

විද්‍යාඥයන් සිතුවේ, මෙය ග්‍රහකයක් එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩයක් කියාය. තාරකා විද්‍යාඥයන් ‘හෙජියා’ ගැන වැඩිදුර විස්තර සොයා ගත්තේ, චිලී රටේ පිහිටි අති ප්‍රබල දුරේක්ෂයේ ආධාරයෙනි. 

මෙම දැවැන්ත දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘වෙරි ලාර්ජ් ටෙලස්කෝප්’ එසේත් නැතිනම් ‘වී.එල්.ටී’ යනුවෙනි. වැඩි විස්තර සොයා බලද්දී එය ග්‍රහයකයක් නොව, ප්‍රමාණයෙන් කුඩා කුරු ග්‍රහයකු බව තහවුරු විය. 

‘ලැබුණු දත්ත සහ ඡායාරූප අනුව, ‘හෙජියා’ කුරු ග්‍රහයකු බව තහවුරු කර ගැණුනා. ඒ බව නිල වශයෙන් දැනුම් දීමක් ද කළා’යැයි ප්‍රංශයේ මාසේල් තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේ ආචාර්ය පියේ වර්නාසා පවසා ඇත. 

‘හෙජියා’ අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයකු පමණක් නොවෙයි, අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම කුරු ග්‍රහයා ද වෙනවා’ යැයි ආචාර්ය පියේ වර්නාසා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

කුරු ග්‍රහයන් ද සාමාන්‍ය ග්‍රහයන් මෙන් වුවත්, ඒවා වෙනත් අභ්‍යවකාශ වස්තූන්වලට ළංව පිහිටයි. මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයන් අතරින් අප කවුරුත් හොඳින් දන්නා කුරු ග්‍රහයා ප්ලූටෝ ය. 2006 වසර වෙනකල් ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස හැඳින්විය. 

ප්ලූටෝ කුරු ග්‍රහලොවක් බව නිල වශයෙන් තහවුරු කිරීම ජගත් තාරකා විද්‍යාඥයන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබුවේ 2006 දීය. ඒ අනුව, අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගණන නවයේ සිට අට දක්වා අඩුවිය.

ප්ලූටෝ සහ හයිජියාට අමතරව, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිරි කුරු ග්‍රහයන් වන්නේ, සීරිස්, ඒරීස්, මේක්මේක්, හාමෙයා ය. 

ප්ලූටෝ හිරු වටා යන්නේ අසාමාන්‍ය ක්‍රමයකට වීම නිසා එය විටෙක හිරුට ළං වෙයි. විටෙක් හුඟක් ඈතට යයි. සාමාන්‍යයෙන් හිරුගේ සිට ප්ලූටෝට ඇති දුර කිලෝ මීටර් බිලියන 5.8 කි. 

ග්‍රහලොවක් ලෙස සැලකුණු ප්ලූටෝ කුරු ග්‍රහයකු බව තීරණය ගනු ලැබුවේ ‘ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය’ විසිනි. ප්ලූටෝ කුරු ග්‍රහයකු යැයි තීරණය කළේ, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහලෝක මෙන් නොව ප්ලූටෝ හිරු වටා යන්නේ ඊට ආවේණික වූ වෙනස් මඟක වීම නිසාය. 

දැන් යළිත් වරක් ප්ලූටෝ සෞරග්‍රහ මණ්ඩලයේ ‘ග්‍රහලෝකයක්’ යැයි නම් කිරීමට කථිකාවතක් ආරම්භ වී ඇතැයි පැවැසෙයි. ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න විවාදයට ගැනෙන්නේ ඇමෙරිකාවේ මැසචුසෙට්හි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පීඨයේ මැදිහත් වීමෙනි. 

ඊට සහභාගී වුණු විශේෂඥයන් ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න ගැන ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කළ බව පැවැසෙයි. කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පීඨයේ පැවැති එම දේශනයට ආධුනික තාරකා විද්‍යාඥයන් ද ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ. 

එහිදී ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත් වුණු අතර, පැමිණි සිටි පිරිසට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාක් ලැබුණි. සෙසු ග්‍රහලෝක ඉලිස්ප්සාකාර හැඩයකින් හිරු වටා භ්‍රමණය වන අතර ප්ලූටෝගේ ගමන් මඟ එසේ නොවේ. 

අසාමාන්‍ය ගමන් මඟ නිසා 1979 වසරේදීත්, 1999 වසරේදීත් ප්ලූටෝ ඊට පෙර ඇති නෙප්චූන් ග්‍රහලොවටත් වඩා හිරුට සමීප විය. එම වසරවලදී සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය වූයේ ප්ලූටෝ නොව නෙප්චූන්ය. ප්ලූටෝ හිරු වටා භ්‍රමණය වෙද්දී, අනෙක් ග්‍රහලෝක නොකරන දෙයක් කරයි. ඒ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා ඇති කුයිපර් වළල්ල තෙක් ගමන් කරයි. 

එම කලාපයේ වෙනත් ග්‍රහ වස්තූන් ද පිහිටා ඇත. මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින්, ප්ලූටෝ ග්‍රහලෝකයක් නොව, කුරු ග්‍රහයකු යැයි 2006 වසරේ දී මුලින්ම ලොවට හෙළි කළේ තාරකා විද්‍යාඥ ආචාර්ය ගැරෙත් විලියම්ස්ය. මොහු කුරු ග්‍රහලෝක සංගමයේ සාමාජිකයෙකි. 

ඔහු ගෙන ආ තර්ක පිළිගැනීමෙන් පසු, ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයන් තීරණය කළේ ප්ලූටෝ ග්‍රහලෝකයක් නොව, කුරු ග්‍රහයකු කියාය. පෘථිවියේ සිට දුරින්ම පිහිටා ඇත්තේ ප්ලූටෝ ය. 

අභ්‍යවකාශ යානයක නැගී ප්ලූටෝ තෙක් යෑමට හැකි නම් (එතරම් දුරකට මිනිසුන් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් මෙතෙක් නිර්මාණය වී නැත.) පැයට කිලෝ මීටර් 1,810 ක වේගයකින් පෘථිවියේ සිට ප්ලූටෝ වෙත යෑමට අවුරුදු 370 ක් ගත වේවි. ප්ලූටෝට චන්ද්‍රයෙක් සිටී. 

‘කයිරොන්’ නමැති එය සොයා ගනු ලැබුවේ 1978 වසරේදීය. එය පිහිටා ඇත්තේ ප්ලූටෝගේ සිට කිලෝ මීටර් 20,000 ක් කරම් ළඟිනි. එහි විෂ්කම්බය කිලෝ මීටර් 800 කි. 

ප්ලූටෝහි දරුවකු උපත ලැබුවහොත් (එය ද විය නොහැකිය) පෘථිවි වර්ෂ අනුව, එම දරුවාගේ පළමු උපන්දිනය සැමැරීමට නම් වසර 248 ක් ගත වේවි. 

ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස මුලින්ම සොයා ගැනුණේ 1930 දීය. විෂ්කම්බය කිලෝ මීටර් 2,400 ක් යැයි පැවැසෙයි. එය අපේ චන්ද්‍රයාටත් වඩා කුඩාය. බරින් ද ඉතා අඩුය. 

ද සන්

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad