තුර්කිය ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 29, 2021

තුර්කිය ලොක්ඩවුන්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ලබන මැයි 17 තෙක්, තුර්කිය 'ලොක්ඩවුන්' කිරීමට තුර්කි රජය අද (29) පියවර ගත්තේය. 

රට මුළුමනින්ම ලොක්ඩවුන් කරනවා යැයි තුර්කි රජය නිවේදනය කළේ පසුගිය සති අන්තයේය. ඒ අනුව, නිවෙස්වල කොටුවීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ තුර්කි වැසියන් එක් රැස් කරගත් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.‍‍ 

ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 37,312 ක් වන අතර, මරණ වාර්තා වූයේ 353 ක් ලෙසය. 

ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑමත් සමඟ තුර්කි වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බැවින්, රට මුළුමනින්ම ලොක්ඩවුන් කරන බවත් අත්‍යාවශ්‍ය සේවා සියල්ල පවත්වා ගෙන යෑමට පියවර ගන්නා බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ජාතිය අමතමින් පැවැසීය. 

මීට පෙර තුර්කියේ ඇඳිරි නීතිය පැනැවිණි. ඒ, රාත්‍රියේ සිට අලුයම දක්වා පමණි. කෙසේ නමුත් එයින් ද වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි වුණු බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. නිවෙස්වලින් බැහැර යා හැකි වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ අත්‍යාවශ්‍ය භණ්ඩ මිලදී ගැනීමට පමණක් බවත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඔසුහල් විවෘතව තැබෙන බවත් තුර්කි ජනාධිපතිවරයා ජාතිය ඇමැතූ අවස්ථාවේදී පැහැදිලි කළේය. 

තුර්කියේ එන්නත්කරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි. එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය.‍ මේ වනවිට තුර්කි වැසියන් මිලියන 8 කට කොරෝනා ආසාදනය වැළැක්වීමේ එන්නත් ලැබී ඇත. 

තුර්කි වැසියන්ට ලබා දෙන්නේ 'කොරෝනාවැක්' සහ 'සිනොවැක්' යන චීන එන්නත්ය. ඉදිරියේ දී ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත් මෙන්ම රුසියාවේ 'ස්පුට්නික්' එන්නත් ද මිලදී ගැනීමට තුර්කි රජය සූදානම් වෙයි. 

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බව ද පැවැසෙයි. එපමණක් නොව, 'ස්පුට්නික් 5' එන්නත තුර්කියේ නිෂ්පාදන කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් අතින් ලොව සිවුවැනි ස්ථානයේ පසුවන්නේ තුර්කියයි. 

තුර්කියේ සමස්ත ආසාදිතයන් ගණන 4,751,026 කි. තුර්කියේ සමස්ත මරණ වාර්තා වන්නේ 39,398 ක් ලෙසය.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom