
එසේ වුවත්, ඉබෝලා සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්හනම් ගෙබ්‍රෙයෙසස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. කොවිඩ් 19 වසංගතයෙන් ඇති පදමට අප (ලෝකය) බැට කෑ බැවින්, තවත් වසංගතයක් කී සැණින් කලබල වීම ස්වභාවිකය. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කලබල විය යුතු නැත.
මෙම වසංගත තත්ත්වය අප්‍රිකාවේ, එම වසංගතය පැතිර යන රටවලට සීමා කිරීමට සියලු පියවර අනුගමනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රෙයෙසස් සහතික වී ඇත.
ඉබෝලා යනු අපි නොදන්නා වයිරසයක් නොවෙයි. කොවිඩ් 19 මෙන් හිටිහැටියේ පහළ වුණු මාරක ආගන්තුකයකු ද නොවෙයි. මේ නවතම වසංගත තත්ත්වය ආරම්භ වූයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙනි.
ඉබෝලා වයිරසය, ස්වභාවිකව වන සතුන්ගේ සිරුරු තුළ දකින්න ලැබේ. පළතුරු වවුලන් වයිරසයේ ප්‍රධාන වාහකයන් ලෙස හදුනාගෙන ඇත. වනාන්තරවල ඉන්න ඉබෝලා වයිරසය ආසාදනය වුණු සතුන් දඩයම් කර ආහාරයට ගැනීම, නැතිනම් උන් ස්පර්ශ කිරීම ආදිය මගින් වයිරසය මනුෂ්‍ය සිරුරට ඇතුළු වෙයි.
ආසාදිතයකුගේ ලේ, වමනය වැනි ශරීර දියර වර්ග තවත් අයකුගේ සිරුරේ ස්පර්ශ වීමෙන් රෝගය වේගයෙන් මනුෂ්‍යයන් අතරේ පැතිරෙන්න පටන් ගනී. වයිරසය ශරීරගත වී දින 2 සිට 21 දක්වා කාලයක් ඇතුළත රෝග ලක්ෂණ මතු වෙයි.
මුලින්ම උණ, හිසරදය, අධික මහන්සිය වගේ සෙම්ප්‍රතිශ්‍යාව හෝ මැලේරියාව වගේ ලක්ෂණ පෙන්නුවත්, රෝගය උත්සන්න වෙද්දී වමනය, පාචනය වගේම ශරීරයේ අභ්‍යන්තර හා බාහිර අවයවවලින් ලේ ගැලීම් සිදුවෙයි. අවසානයේ සිරුරේ ඉන්ද්‍රියයන් අක්‍රිය වෙයි. රෝගියා මියයයි.
අප්‍රිකාවෙන් මීට පෙර ඉබෝලා වසංගත වාර්තා වී තිබේ. ඒවා මාස 5 කින් හෝ 6 කින් අවසන් විය. ඒත් මෙවර ව්‍යාප්ත වන වසංගත තත්ත්වය තරමක් වෙනස්ය. කලබල වීමට හෝ බියවීමට හෝ අවශ්‍ය නොවුණත්, එය ගැන අවබෝධයෙන් සිටීම වැදගත්ය.
මේ වනවිට අප්‍රිකාවේ කොංගෝවෙන් ආරම්භ වී උගන්ඩා රාජ්‍යයේ ද ව්‍යාප්ත වන්නේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නමැති ඉබෝලා ප්‍රභේදයයි. ඉබෝලා වයිරසය වෙනස් වී, විකෘති වී, ‘බුන්ඩිබුග්යෝ’ නිර්මාණය වී ඇත. වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මෙය ඉතාමත් දුර්ලභ මෙන්ම බිහිසුණු ප්‍රභේදයකි. ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය මෙසේ හිස ඔසවා ඇත්තේ වසර 10 කට පමණ පසුවය.
මීට පෙර ඉබෝලා වසංගතවලදී ව්‍යාප්ත වූයේ ‘සයිරේ’ (Zaire) නමැති ප්‍රභේදයයි. මෙම ‘සයිරේ’ ප්‍රභේදය අඩපන කිරීමට ලහිලහියේ එන්නතක් නිපදවා ඇති නමුත්, ‘බුන්ඩිබුග්යෝ’ සඳහා එන්නත් නැත.
‘සයිරේ’ ප්‍රභේදය සඳහා නිර්මාණය කළ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර අවසන්ය.
ඉබෝලා පිළිබඳව ලෝකයා ප්‍රථම වරට දැනගත්තේ 1976 වසරේදීය. එම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ සයිරේ (වත්මන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) සහ වත්මන් දකුණු සුඩානය යන කලාප මුල් කරගනිමින් මෙම රෝගී තත්ත්වය එකවර හිස එසවීය. එහිදී සයිරේ රාජ්‍යයේ (අද කෙංගෝව) 'යම්බුකු' ගම්මානය අසලින් ගලා බසින 'ඉබෝලා' නදිය සිහිපත් කරමින්, විද්‍යාඥයන් විසින් වයිරසය ඉබෝලා ලෙස නම් කරන ලදී.
වෛද්‍ය පර්යේෂණවලට අනුව වයිරසය, වවුලන් හරහා වනාන්තරයේ වෙසෙන වඳුරන්, චිම්පන්සීන් වැනි සතුන්ටද, පසුව වන සතුන් දඩයම් කිරීම සහ ඔවුන්ගේ මස් පරිභෝජනය හරහා මිනිසාට ද වයිරසය ව්‍යාප්ත විය. 1976 දී සිදුවූ මුල්ම ව්‍යාප්තියේදීම ආසාදිතයන්ගෙන් සියයට 88 කට වැඩි පිරිසක් මියගියේය. ඉබෝලා මරණයේ දූතයා බවට පත් විය.
එකල පැවති අවම සෞඛ්‍ය පහසුකම් සහ රෝගීන්ගේ දේහයන් ස්පර්ශ කර සිදුකරන සාම්ප්‍රදායික අවමංගල්‍ය චාරිත්‍ර හේතුවෙන් මුල් කාලීන ව්‍යාප්තිය පාලනය කිරීම අසීරු විය. කෙසේ වෙතත්, වෛද්‍ය ඉතිහාසයේ දරුණුතම ඉබෝලා වසංගතය වාර්තා වූයේ 2014-2016 කාලයේ බටහිර අප්‍රිකාවෙනි. එම වසංගතයෙන් 11,300 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද මිනිසාට තවමත් සම්පූර්ණයෙන්ම මෙල්ල කිරීමට නොහැකි වූ ක්ෂුද්‍ර ජීවී විශේෂයක් ලෙස වයිරස සැලකෙයි. වයිරසයක් යනු සරල පියවි ඇසට තබා සාමාන්‍ය අන්වීක්ෂයකට පවා හසු නොවන, අතිශය කුඩා ජානමය ද්‍රව්‍ය කොටසකි. විද්‍යාඥයන් වයිරස හඳුන්වන්නේ ජීවී සහ අජීවී ලෝකය යා කරන පාලමක් ලෙසය.
හේතුව, ශරීරයකින් බාහිරව පරිසරයේ පවතින විට කිසිදු පණක් නැති අජීවී දූවිලි අංශුවක් මෙන් පවතින වයිරස, ජීවී සිරුරක් තුළට ඇතුළු වූ සැණින් පණ ලබා ක්‍රියාත්මක වීමේ සුවිශේෂී හැකියාවකින් යුක්ත බැවිනි.
වයිරසයක ව්‍යුහය දෙස බැලූ විට එය ඉතා සරල ය. එහි අඩංගු වන්නේ ප්‍රෝටීනමය ආවරණයකින් වට වූ ඩීඑන්ඒ DNA හෝ ආර්එන්ඒ RNA නමැති ජානමය ද්‍රව්‍ය කොටසක් පමණි.
බැක්ටීරියා වැනි සෙසු ක්ෂුද්‍ර ජීවීන්ට මෙන් තමන්ටම කියා ස්වයංව ප්‍රජනනය වීමේ හෝ ශක්තිය නිපදවීමේ සෛලීය ව්‍යුහයක් වයිරස සතුව නැත. මේ නිසා තමන්ගේ වර්ගයා බෝ කිරීම සඳහා වයිරස අනිවාර්යයෙන්ම මනුෂ්‍යයකු, සතකු, ශාකයක් හෝ අවසානයේ බැක්ටීරියාවක් වැනි වෙනත් සත්කාරක ජීවියකුගේ සෛලයක් ආක්‍රමණය කළ යුතුය.
කිසියම් ජීවී සෛලයකට රහසින් ඇතුළු වන වයිරසය, එම සෛලයේ පාලනය තමන් සතු කර ගනී. ඉන්පසුව එම සෛලයේ ඇති ශක්තිය සහ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින්, කර්මාන්ත ශාලාවක භාණ්ඩ නිෂ්පාදනය කරන්නාක් මෙන්, තමන් වැනිම වූ වයිරසය පිටපත් මිලියන ගණනින් බිහි කිරීමට සෛලයට බල කරයි.
අවසානයේ සෛලය පුපුරුවා හරිමින් පිටතට පැමිණෙන නව වයිරසය සිරුරේ සෙසු සෛල කරා ගමන් කරමින් රෝගාබාධ ඇති කරයි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට ඉබෝලා, එච්.අයි.වී සහ කොවිඩ්-19 දක්වා වූ බිහිසුණු ලෙඩ රෝග රැසක් මානව සංහතියට දායාද කරනු ලබන්නේ මෙම අන්වීක්ෂීය සතුරන් විසිනි.
ලෝකයේ බිහිසුණුම වයිරසය කුමක්ද යන්න තීරණය කරන්නේ සිදුවන මරණ ප්‍රතිශතය සහ පැතිරීමේ වේගය වැනි කරුණු පදනම් කරගෙනය. ඒ අනුව, ලොව භයානකම සහ බිහිසුණුම වයිරස කීපයකි. කොවිඩ් 19, ඉබෝලා පමණක් නොව, නූතන ලෝකයේ වැඩිම බලපෑමක් කළ වයිරසය ලෙස එච්අයිවී ද ඒ අතර ඇත.
එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට, ජලභීතිකාව නැතිනම් ජල භීතිකා වයිරසය මාරාන්තික බව අතින් ගත් කල ලොව බිහිසුණුම වයිරසයයි. මරණ ප්‍රතිශතය සියයට 99 කට වැඩිය. වයිරසය, ශරීරගත වී රෝග ලක්ෂණ මතු වූ පසු, ප්‍රතිකාර කර සුව කිරීම අතිශය දුෂ්කරය. මරණය ස්ථිර තරම් වේ. එහෙත්, රෝග ලක්ෂණ මතු වීමට පෙර ලබාදෙන එන්නත් මඟින් මෙය සියයට 100 ක් වළක්වා ගත හැකිය.
ලුසිත ජයමාන්න
ස්තුතිය - WHO