
අනන්‍යා පාණ්ඩේ බොලිවුඩ් සිනමාවේ අලුත් පරපුරේ නළියකි. ඇය බොලිවුඩයේ ජනප්‍රිය ප්‍රහසන නළු චන්කි පාණ්ඩේගේ දියණියයි. සිනමා පසුබිමක් ඇති පවුලකින් පැමිණි සුරූපිනියක නිසා, අනන්‍යා රංගන ක්ෂේත්‍රය තුළ ආරම්භයේ පටන්ම කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින්නීය.
අනන්‍යා උපන්නේ 1998 ඔක්තෝබර් 30 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරදීය. ඇය රංගන දිවිය ආරම්භ කළේ 2019 දීය. ඒ, Student of the Year 2 චිත්‍රපටයෙනි. Student of the Year 2 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට හොඳම නවක නිළියට හිමි Filmfare සම්මානයද හිමිවිය.

රංගන ශිල්පිණියකට අමතරව, අනන්‍යා සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය, මිලියන ගණනක රසික පිරිසක් සිටින Fashion Icon එකකි.
මෙවර Filmfare නවතම කලාපය හැඩවන්නේ අනන්‍යාගේ රුවෙනි. අනන්‍යා ඇගේ හැඩැති සුරූපී සිරුරේ රහස ගැන විවෘතව අදහස් දක්වන්නීය. ඇය පවසන්නේ ඇගේ තරුණ නිරෝගී සුරුරේ රහස ‘ජීර පානි’ (Jeera Pani) බවය.

‘ජීර පානි’ යනු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අතිශය ජනප්‍රිය පානයකි. ‘ජීර පානි’ යනු සූදුරු වතුරය. මෙය සෞඛ්‍ය සම්පන්න පානයක් බොලිවුඩ් සුරූපිනියන්ගේ පිළිගැනීමය."මා මගේ දවස ආරම්භ කරන්නේ සූදුරු වතුර වීදුරුවකින්" අනන්‍යා, Filmfare සඟරාවට පවසා ඇත.

අනන්‍යාගේ මෙම උදෑසන පානය මඟින් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකි. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) වේගවත් කිරීම සහ සිරුර විජලනයෙන් වළක්වා ගැනීමට අමතරව, ශරීරයේ බර අඩු කර ගැනීමටද සූදුරු වතුර මහඟු පිටුවහලක් වේ. සූදුරු නැතුවම බැරි කුළුබඩුවකි. එහි පොටෑසියම්, මැන්ගනීස්, යකඩ සහ තන්තු (Fibre) බහුලව අඩංගු වේ.
සූදුරු වැනි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාරයක් ශරීරයට ලැබුණු විට, සිරුර මඟින් එම පෝෂ්‍ය පදාර්ථ වඩාත් හොඳින් අවශෝෂණය කර ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර වඩාත් කාර්යක්ෂමව ජීර්ණය වන අතර, බඩ පිපුම ඇතිවීම සහ අනවශ්‍ය ලෙස සිරුරේ ආහාර රඳවා තබා ගැනීම වළක්වයි.

උදෑසන අවදි වූ වහාම සූදුරු වතුර වීදුරුවක් පානය කිරීම ඔබේ ආහාර ජීර්ණ සෞඛ්‍යය, පරිවෘත්තීය ක්‍රියාවලිය සහ සමස්ත සෞඛ්‍යය ඉහළ නැංවීමට කදිම ක්‍රමයකි. දෙහි යුෂ සහ මී පැණි මිශ්‍ර කළ වතුර වීදුරුවකින් ශරීරයට ලැබෙන ගුණයට සමාන ගුණයක් සූදුරු වතුරෙන්ද ලැබේ. එමඟින් ආමාශයික අම්ලවල (Stomach acid) ගුණාත්මකභාවය ඉහළ නංවයි.
ජීර පානි සාදා ගන්නේ කෙසේද?
1. වතුර ලීටරයකට සූදුරු තේ හැඳි 1ක් හෝ 2ක් එකතු කරන්න.
2. එය රැයක් පුරා (නැතහොත් අවම වශයෙන් පැය 4-5ක්) පෙඟෙන්නට හරින්න.
3. උදෑසනට වතුර ටික පෙරාගෙන සූදුරු ඇට ඉවත් කරන්න.
4. මෙම සූදුරු වතුර උදෑසන හිස්බඩ පානය කරන්න.
වැදගත් උපදෙස් සහ පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග
• මුලින්ම කුඩා ප්‍රමාණයකින් (අඩු සාන්ද්‍රණයකින්) ආරම්භ කර පසුව ක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරන්න.
• අධික ලෙස පානය කිරීමෙන් වළකින්න. සූදුරු වතුර පමණට වඩා පානය කිරීමෙන් බඩේ අමාරු හෝ වෙනත් ආහාර ජීර්ණ ගැටලු ඇති විය හැක.
• නිදන්ගත රෝගාබාධයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් පවතින්නේ නම්, සූදුරු වතුර දිනපතා පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.
Filmfare ඇසුරිනි