කලා ලොවේ දස්කම් පෑ සප්නා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 7, 2021

කලා ලොවේ දස්කම් පෑ සප්නා

ඇය කලා ක්ෂේත්‍රයට එක්වූයේ 2005 වසරේදීය. එදා සිට අද දක්වා තවමත් කලාවේ නිරතවී සිටින ඇය පසුගිය කාලයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට එක්වූ නිසා දැඩි නිහඬතාවක් දැකගන්නට ලැබුණි. 

රංගනයටත් නිරූපණ ක්ෂේත්‍රයටත් දක්ෂතාවක් දැක්වූ ඇයගේ හැකියාවන් පෙන්වීමට තරම් නිර්මාණවලට අධ්‍යක්ෂකවරු නොගැනීම විශාල පාඩුවක් බව දැනුණි. මුස්ලිම් ජාතික කාන්තාවක් වුවද ඇය සියලු ජාතිකයන් සමග සමගියෙන් සහයෝගයෙන් වැඩකළේ සහෝදර සහෝදරියන් ලෙසිනි. ඇය නමින් සප්නා කරීම්ය. 
එදා රඟපෑ දර්ශන ඇයගේ නමත් සමග සමහරුන්ට මතකයේ රැඳෙන්නට පුළුවනි. දිගු කලකට පසු ඇය සමග කතාබහ කිරීමේ අවස්ථාවක් මට හිමිවුණි. ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටි නිසා අවිවේකීතාවය මැද්දේ ඇය  සමග කෙටි පිළිසඳරකට යොමුවිණි. 

2005 දී දුටු සප්නාට වඩා අද දවසේදී ඇය තවත් රූමත්වී ඇති බව දැකගන්නට ලැබුණි. මේ ඇය කියූ කතාවයි. 

මම 2005 දී රංගන ක්ෂේත්‍රයට එක්වුණේ. ඒ චිත්‍රපටවලින්. ඒ කාලයේ දැන් වගේ නොවෙයි. මාව දන්න අය අදටත් ඔයා සප්නා කරීම් නේද කියලා අහනවා. මම ගොඩාක් සතුටුවෙනවා. මොකද ඒ කාලේ දැන් වගේ සමාජ මාධ්‍ය තිබුණේ නෑ. ඒත් අපි මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඒ හින්දා මට ගොඩාක් සතුටුයි. 

තවමත් මාව මිනිස්සු දැනගෙන සිටීම ගැන. මම නිරූපණ ක්ෂේත්‍රයේ සිටිද්දීම තමයි රංගන ක්ෂේත්‍රයට එක්වුණේ. ගොඩාක් නිර්මාණවලට දායක වුණා. කොහොම වුණත් මගේ ව්‍යාපාරික කටයුතුත් එක්ක මට ටිකක් අවිවේකී වුණා. අනෙක හරි නිර්මාණයක් මට ලැබුණේ නෑ. ඒක නිසා තමයි මාව ගොඩාක් කාලෙකින් දැකගන්න නොහැකි වුණේ. ව්‍යාපාරික පැත්ත කියලා රංගනය නැවැත්තුවේ නෑ. 

හොඳ නිර්මාණ ලැබුණෙත් රඟපානවා. දැන නම් ඉස්සර වගේ මොඩ්ලින් (නිරූපණ) ක්ෂේත්‍රය ගත්තත් රංගන ක්ෂේත්‍රය ගත්තත් සෑහෙන්න අලුත් අය ඇවිත් ඉන්නේ. අපි අලුත් අයටත් තැන දෙන්න ඕනේ. ඒ වුණාට ඉස්සර වගේ නොවෙයි. රඟපාන්න බැරි වුණත් මොඩ්ලින් කළත් ඒ අය ජනප්‍රිය වෙලා ඉවරයි. අලුත් පරපුර අතර දක්ෂ අය ඉන්නවා. මම නෑ කියන්නේ නෑ. ඒත් වැඩිපුර ඉන්නේ බැරි අය ඉහළට ගිහින් ජනප්‍රිය වීමයි. 

ඇත්තටම නිළියක්වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. එදා වගේම අදටත් මා ගැන කතා වෙනවා ඇසීමත් සතුටක්. මට හොඳ චරිතයක් ලැබුණොත් මම හිතලා බලනවා යළිත් රඟපාන්න. සමහර වෙලාවට මම මුස්ලිම් ජාතික තරුණියක් හින්දා වෙන්න පුළුවන් මට සමහරු නිර්මාණවලට කතා නොකළේ. 

ඒත් සමහර අධ්‍යක්ෂවරු මගේ දක්ෂතා දැකලා හොඳ නිර්මාණවලට මාව අරගෙන තිබෙනවා. ආදරයට මම ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේට සහකරුවෙක් දැනට නම් නෑ. ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒත් දැන් ඒවා නෑ. මම ගොඩාක් ආදරේ කරන්නේ මගේ සුරතල් සතුන්ටයි. මේ කොවිඩ් 19 වසංගතය ඉවර වුණාම පිටරට ගිහින් පදිංචි වෙන්න මගේ බලාපොරොත්තුවයි. ඒත් එය කවදා වෙයිද කියන්න බැහැ. 

 ෴ යසස් සමන්පත් 
උපුටා ගැනීම - ලංකාදීප රසවින්දන‍ අතිරේකය

Classified_Ad

Classified_Ad_News_Bottom