ශ්‍රී ලංකාව සැබවින්ම මිතුරෙක් - චීනය කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 26, 2021

ශ්‍රී ලංකාව සැබවින්ම මිතුරෙක් - චීනය කියයි

අවශ්‍යම වේලාවේ සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි යැයි ශ්‍රී ලංකාවට ප්‍රසංශා කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් ඊයේ (25) පැවැසීය. 

ශ්‍රී ලංකාවට සිනෝෆාර්ම් කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී තානාපතිවරයා මෙසේ පැවැසුවේය. 

චීනය පරිත්‍යාග කළ තවත් ‘කොවිඩ්-19’ සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඊයේ රාත්‍රියේ මෙරටට ළඟා විය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ මෙරට චීන තානාපතිවරයා මෙසේ ද කීය. 

“චීන ජනතාව ශ්‍රී ලාංකික ජනතාවට ත්‍යාගයක් ලෙස පිරිනැමූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මාර්තු 31 වන දින, අපි ඒකාබද්ධව සාදරයෙන් පිළිගත්තෙමු. අද චීනයේ නවතම ආධාර නැවත වරක් ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු, ශ්‍රී ලංකාව සඳහා තවත් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් වන එම පරිත්‍යාගය ‘කොවිඩ්-19’ ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ‘කොවිඩ්-19’ අපගේ පොදු සතුරා ය. ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම අපගේ පොදු ඉලක්කයයි. 

වසංගතයට එරෙහිව සටන් කරන වඩාත්ම බලවත් ආයුධ වන්නේ එක්සත්කම සහ සහයෝගීතාවය වන අතර, අවසානයේ වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම එන්නත බෙදා ගැනීමයි. මැයි 21 වනදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ චීනය මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආධාර ලබා දී ඇති බවයි. රටවල් 80 ක් සඳහා නොමිලේ එන්නත් ලබා දෙන අතර තවත් රටවල් 43ක් චීනයේ එන්නත් ආනයනය කරමින් සිටී. 

‘කොවිඩ්-19’ ට එරෙහි ගෝලීය සහයෝගීතාව සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙමින්, චීනය ඉදිරි වසර තුන තුළ අතිරේක වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක ජාත්‍යන්තර ආධාර ලබා දෙනු ඇත, හැකි උපරිමයෙන් වැඩි එන්නත් ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින ර‍ටවලට තාක්ෂණයන් මාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා තම එන්නත් සමාගම්වලට චීනය සහාය වනු ඇත. අප්‍රේල් 27 වන දින පැවති වීඩියෝ රැස්වීමේ දී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වන්ග් යී, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තාන විදේශ ඇමතිවරු ‘කොවිඩ්-19’ ට එරෙහිව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා වැදගත් සම්මුතීන්ට එළඹුණ අතර ස්ථිර ප්‍රථිඵල රැසක් අත්කර ගත්හ. වසංගත හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අද එන්නත පැමිණීම ඔවුන්ගේ එකඟතාවයන් හී සෘජු ප්‍රථිඵලයකි. වසංගතය පැතිර ගිය දා සිට චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය නව තලයකට ඔසවා තබා ඇත. 

හොඳ අසල්වැසියෙකු ලෙස, හොඳ මිතුරෙකු සහ හොඳ සහකරුවෙකු ලෙස අතීත, වර්තමාන හෝ අනාගතය කවරක් වුවත්, ශ්‍රී ලංකාවට යමක් ප්‍රයෝජනවත් වන අවස්ථාවක චීනය කිසි විටෙකත් මග හැර නොයනු ඇත. ඇතැම් කාර්යයන් ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තාක් චීනය එය කිරීමට පසුබට නොවනු ඇත. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සඳහා වන පරාර්ථකාමී කැපවීම් දක්වන සියළු දෙනාටම මාගේ හෘදයාංගම ඇගයීම ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. නුදුරු කාලයේදී ම ශ්‍රී ලංකාවට වසංගතයෙන් ජය ගැනීමට හැකිවෙතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි.” 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom