ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අබ්බාස් හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 26, 2021

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අබ්බාස් හමුවෙයි

පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස් සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි. 

ඊශ්‍රායලය අඛණ්ඩව දින 11ක් ගාසා තීරයට බෝම්බ හෙළීමෙන් පසු දෙපාර්ශවය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණි. ඉන් දින කිහිපයකට පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මැද පෙරදිග සංචාරයක් ආරම්භ කළ අතර පලස්තීනයට පැමිණීමට පෙර හෙතෙම ඊශ්‍රායලයේ සංචාරය කළේය. 

ගාසා තීරයට ඩොලර් මිලියන දහස් ගණනින් ආධාර සැපයීමට ඇමෙරිකානු පරිපාලනය තීරණය කර ඇතැයි ද රාජ්‍ය ලේකම්වරයා මෙහිදි කීය. කෙසේ නමුත් හමාස් සංවිධානය මෙයින් ප්‍රයෝජන ගැනීම වැළැක්වීම සඳහා ඇමෙරිකාව පලස්තීන පාලනාධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බව ද හෙතෙම කීය. ඊශ්‍රාලය දිගින් දිගටම එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුණු විනාශයකට ලක්විය. 

ප්‍රතිසංස්කරණ සඳහා ලබාදෙන ආධාරවලින් හමාස් සංවිධානය ප්‍රයෝජන නොගැනීම තහවුරු කළ යුතු යැයි ද හෙතෙම කීය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ පලස්තීන ජනාධිපතිවරයා හමුව පලස්තීනයේ රාමල්ලාහිදී පැවැත්විණි. කඩිනම් ආපදා ආධාර වශයෙන් ගාසා තීරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදි කීය. පලස්තීන සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය (යු.එන්.ආර්.ඩබ්ලිව්.ඒ) සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 32ක මුදලක් ලබාදෙන බව ද ඔහු කීවේය. 

පලස්තීන ජනතාවට සංවර්ධන සහ ආර්ථික සහාය දීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදලකට කොංග්‍රසයෙන් අනුමැතිය ලබාගැනීමට බයිඩන් පරිපාලනය බලාපොරොත්තු වන බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීවේය. ජෙරුසලමේ ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලය නැවත විවෘත කිරීම ද ඉතා ඉක්මනින් ආරම්භ කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදි නිවේදනය කළේය. 

“මම ජනාධිපතිවරයාටත් මේ ගැන කිව්වා. පලස්තීන පාලනාධිකාරිය සහ පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා නැවත ගොඩනැගීමට ඇමෙරිකා එක්සත් ජනපදය කැප වී සිටිනවා. මම මෙහි පැමිණියේත් ඒ ගැන කතා කරන්න. අන්‍යෝන්‍ය ගෞරවය මත ඒ සම්බන්ධතාව ගොඩනැගිය යුතු යි. ඒ වගේම පලස්තීන ජනතාව සහ ඊශ්‍රායල ජනතාව යන දෙපාර්ශවයටම සමාන අයිතිවාසිකම් තිබෙන බව අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ දෙපාර්ශවයටම ආරක්ෂාව, නිදහස, අවස්ථා සහ අභිමානය සමාන අයිතියක් තියෙනවා” යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ස්ටීවන් බ්ලින්කන් කීය. 

“ඇමෙරිකා එක්සත් ජනපදය ඒ වෙනුවෙන් කැප වී සිටිනවා. ජනාධිපතිතුමනි (පලස්තීන ජනාධිපතිවරයා), ඔබ සහ පලස්තීන ජනතාව සමඟ කටයුතු කරන්න අපි සූදානම්” යැයි පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස් අතර පැවැති සාකච්ඡාවේදී හෙතෙම කීවේය. 

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ අතර සටන් විරාමයක් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කෙරුණි. ඊජිප්තුතව සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර කලාපීය බලවතුන් ද ඊට සහාය දැක්වීය. මෙම සටන් විරාමය ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස මැද පෙරදිග සංචාරයක් ආරම්භ කළේය. 

ඊශ්‍රායලය දින 11ක් අඛණ්ඩව ගාසා තීරයට එල්ල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජාතිකයන් 240කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර දරුවෝ 60කට වැඩි පිරිසක් ද වූහ. ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 2,000 ඉක්මවීය. ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් මියගිය ගණන 12 කි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom