ඔන්ටාරියෝ යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 12, 2021

ඔන්ටාරියෝ යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ නමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැනඩාවට විරෝධය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේ දී කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා හමුවු අතර එහිදී අමාත්‍යවරයා මෙම විරෝධය දැක්වූ බවද අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැතිව තිබියදී කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවට ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක පනත් කෙටුම්පත සම්මත කිරීමට ඒම ප්‍රාන්ත උප ආණ්ඩුකාරවරිය විසින් ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන්නැයි අමාත්‍යවරයා මෙහිදී කැනඩා මහකොමසාරිස්වරයා ගෙන් ඉල්ලා සිටියේය. 

ඉකුත් 06 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා රජයේ දැඩි කනස්සල්ල පළ කරන බව කැනඩා මහකොමසාරිස්වරයා හමුවේ කියා සිටියේය. 

මෙම හමුවට එක්වූ විදේශ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට, සාමය ගොඩනැගීමට හා පොදුවේ ද්විපාර්ශ්වික සබඳතාවලට ඇති විය හැකි හානිය පිළිබඳව කැනඩා මහකොමසාරිස්වරයා වෙත විස්තර කළේය. 

ඊට අමතරව විවිධ අංශවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කැනේඩියානු රජයට ස්තූතිය පළ කළ විදේශ අමාත්‍යවරයා, මහ කොමසාරිස්වරයා සමඟ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කළ බවද අමාත්‍යාංශය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom