
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරළ තීරයෙන් එරටට ඇතුළු වී ඇත.
මේ හේතුවෙන් එම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යනු ඇතැයි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැහැදිලි කරයි.
එසේ වුවත් දැනට බලපා ඇති නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් අපේක්‍ෂා කරන බව ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින හරහා පැයට කිලෝමීටර 30, 40 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද ඔහු පැහැදිලි කර ඇත.