කොරෝනා සුව කරන ඖෂධ මිශ්‍රණය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

කොරෝනා සුව කරන ඖෂධ මිශ්‍රණය

ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් නිපදවා ඇති, කොරෝනා රෝගීන් සුවපත් කරන, ඖෂධ දෙකක මිශ්‍රණය, මේ වනවිට ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ද ලබා දීම ආරම්භ කර තිබේ. 

මෙම ඖෂධ මිශ්‍රණය ‘මොනොක්ලෝනල් ප්‍රතිදේහ කොක්ටේල්’ ක්‍රමය යන නමින් ද හැඳින්වෙන අතර ඇමෙරිකාවේත් බටහිර රටවලත් කොරෝනා ට මෙය ලබා දීම සිදුවෙයි. ‘මොනොක්ලෝනල් ප්‍රතිදේහ කොක්ටේල්’ ක්‍රමයේ දී සිදුවන්නේ, රිජෙනෙරෙන්ස් නමැති ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගම, කොරෝනා වයිරසයට අඩපණ කිරීමට නිපදවා ඇති ‘කැසිරිවිමඩ්’ සහ ‘ඉම්දෙවිමාඩ්’ යන ඖෂධ දෙක මිශ්‍රණයක් ලෙස ආසාදිත රෝගීන්ට එන්නත් කිරීමය. 

මෙම ඖෂධ වර්ග දෙක රිජෙනෙරෙන්ස් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇත්තේ ‘රීජෙන් කොව්’ යන වෙළෙඳ නාමය යටතේය. මෙහිදී සිදුවන්නේ, සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණය ක්ලෝනකරණයට ලක් කරමින් එය වැඩි කිරීමය. 

ඒ අනුව, කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට සිරු‌රේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ දෙකක් ලෙස ‘කැසිරිවිමඩ්’ සහ ‘ඉම්දෙවිමාඩ්’ සැලකුවත්, එය ප්‍රතිකාර සඳහා සුදුසු යැයි ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමත කර ඇත. 

ඉන්දියාවේ තවමත් කොරෝනා ව්‍යාප්තියේ අඩුවක් දකින්න නොලැබෙන අතර සෑම නගරයකම රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී පවතී. ඔක්සිජන් නොමැතිව ද රෝගීන් මියයෑම දිනපතා සිදුවෙයි. එසේ කොරෝනා ආසාදිතයන් ඉහළ යද්දී, කොරෝනා ආසාදිතයන් සුවපත් කිරීමට නිපදවා ඇති ඖෂධ කෙරෙහි ඉන්දීය සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අවසන්ය. 

‘කැසිරිවිමඩ්’ සහ ‘ඉම්දෙවිමාඩ්’ ඖෂධ මිශ්‍රණය පළමුවෙන්ම ලබා දීම ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේ හර්යානා නුවර මෙඩැන්ටා රෝහලෙනි. ‘කැසිරිවිමඩ්’ සහ ‘ඉම්දෙවිමාඩ්’ ඖෂධ ඉන්දීය කොරෝනා ආසාදිතයන්ට ලබා දීම කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඉන්දීය ඖෂධ පාලන අධිකාරියයි. 

ඒ, අනුව වයිරසය ආසාදනය වී ජීවිත අවදානමක් ඇතැයි සැක කළ හැකි රෝගීන් තෝරා ගනිමින්, ඔවුන්ට මෙම ඖෂධ මිශ්‍රණය එන්නත් කිරීම සිදු කරන බව මෙඩැන්ටා රෝහලේ වෛද්‍ය මණ්ඩලය පවසා ඇත. 

ඖෂධ මිශ්‍රණය පළමුවෙන් ම ලබා දුන් 82 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියකු දිනක් ඇතුළත කොරෝනා වයිරසය පරාජය කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නරේෂ් ත්‍රෙහාන් ඉන්දීය මාධ්‍ය වෙත පැහැදිලි කර තිබේ. ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, ඩොනල්ඩ් ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු විය.

කෙසේ නමුත්, ට්‍රම්ප් රෝහල්ගතව සිටියේ දින දෙකක් පමණි. දින දෙකකදී ඔහු වයිරසය පරාජය කළ බව ඔහුගේ වෛද්‍ය කණ්ඩායම පැවැසීය. 74 හැවිරිදි ට්‍රම්ප් එසේ කොරෝනා වයිරසයෙන් ගැලවුණේ ඔහුට ද මෙවැනි ඖෂධ මිශ්‍රණයක් එන්නත් කිරීමෙනි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom