ඉන්දියාව යළි එන්නත් අපනයනයට සැරසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 25, 2021

ඉන්දියාව යළි එන්නත් අපනයනයට සැරසෙයි

ඉන්දියාව ඉතා ඉක්මනින් ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා අපනයනය කිරීම ආරම්භ කරන බව එරට ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ ප්‍රධානියා පවසයි.

කෙසේ නමුත් රටේ එන්නත් අවශ්‍යතාව සපුරා ගන්නා තෙක් එය කළ නොහැකි බව ද හෙතෙම කීය. ඉන්දියාව යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ය. 

“ඉන්දීය ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට එන්නත් මාත්‍රා විදීම තමයි අපේ කඩිනම් ඉලක්කය. ඒ සඳහා මේ වනවිට එන්නත් තොග ලැබෙන ආකාර කිහිපයක්ම තියෙනවා. අපේ ජනතාවට එන්නත් ලබාදුන් පසු අනෙක් පාර්ශවවලට එන්නත් ලබාදෙන්න අපි සූදානම්” AFP පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය කොවිඩ්-19 කාර්යසාධක බලකායේ ප්‍රධානී වෛද්‍ය විනෝද් කේ. පෝල් පැවැසීය. 

එන්නත් මාත්‍රා අපනයනය කිරීම අත්හිටුවීමට ඉන්දීය රජය ඉකුත් අප්‍රේල් මාසයේ දී ගත් තීරණය නිවැරැදි බව ද හෙතෙම පැවැසීය. ඉන්දියාවේ තුළ ‘කොවිඩ්-19’ වසංගතයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වීමත් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය, දෙක, තුන ඇතැම් අවස්ථාවලදී ලක්ෂ හතර ඉක්මවා යෑමත් සමඟ ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේ ය. 

ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ සිට අසල්වැසි රටවලට සහ තවත් රටවලට එන්නත් බෙදාහැරීම ආරම්භ කළේය. ඇතැම් රටවලට එන්නත් ප්‍රදානය කළ අතර ඇතැම් රටවලට එන්නත් අපනයනය කළේය.

ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වී ඇති කාලයේ දී රටවල් 90කට වැඩි සංඛ්‍යාවකට එන්නත් මාත්‍රා අපනයනය කර ඇත. කෙසේ නමුත් දෛනික ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ එම ක්‍රියාවලිය නැවතුණි.

ඉන්දියාවෙන් එන්නත් නොලැබී යෑමත් සමඟ සංවර්ධන වෙමින් පවතින රටවල් රැසක එන්නත් හිඟයක් නිර්මාණය වූ අතර මිලියන ගණනක ජනතාව පීඩාවට පත්වූහ. ඉන්දීය ආණ්ඩුව සිය එන්නත්කරණ වැඩසටහන නිසි පරිදි කළමනාකරණය නොකළ බවට එරට විපක්ෂය ඇතුළු පාර්ශව ගණනාවක් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා කළහ. 

ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවල් චීනයෙන් එන්නත් ලබාගත් බවට ද ඔවුහු චෝදනා කළහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහනට මූලිකත්වය දැක්වූයේ ඉන්දියාවේ සේරම් ආයතන යි. 

ඉන්දියාවේ සේරම් ආයතනය යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදනය කරන සමාගමයි. එම සමාගම ‘කොවැක්ස්’ වැඩසටහනේ ප්‍රධාන එන්නත් සැපයුම්කරු ලෙස කටයුතු කළ අතර ඉන්දියාවේ ජාතික එන්නත්කරණ වැඩසටහන අර්බුදයට යෑමත් සමඟ සමාගම ‘කොවැක්ස්’ වැඩසටහනෙන් ඉවත් විය.  මේ හේතුවෙන් දුප්පත් රටවලට එන්නත් ලබාදීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාවලිය ද අඩපණ විය. 

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom