බිහිසුණු සාපයක්: The Conjuring: The Devil Made Me Do It - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 7, 2021

බිහිසුණු සාපයක්: The Conjuring: The Devil Made Me Do It

හොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂ ජේම්ස් වැන්ගේ පළමු 'කොන්ජුරීන්' චිත්‍රපටය, 2013 වසරේ තිරගතවීම් ඇරැඹුවේ, ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු නව 'සිනමා කලාවක්' නිර්මාණයට දායක වෙමිනි. සිත් කලඹණ, බිහිසුණු සිදුවීම්වලින් පිරුණු 'කොන්ජුරීන්' චිත්‍රපටය, කොතරම් බිහිසුණුදැයි කීවොත් එයට R රේටිං වර්ගකරණයක් ලබා දුන්නේ එය නරඹන විට ඇතිවන්නා වූ බය නිසා මිසක් වෙනත් හේතුවක් නිසා නොවෙයි.

'කොන්ජුරීන්' අතිශය සාර්ථක චිත්‍රපටයක් වූයේ, බොක්ස් ඹෆිස් වාර්තා තබමින් පමණක් නොව, විචාරකයන්ගේ පවා පැසැසුමට ලක් වෙමිනි. එදා පටන්, 'කොන්ජුරීන්' චිත්‍රපටය හා බැඳුණු තවත් චිත්‍රපට රැසක් නිර්මාණය විය. 

'කොන්ජුරීන්' පළමු චිත්‍රපටයට නොදෙවැනි අයුරින් 'කොන්ජුරීන් 2' 2016 දී තිරගත වූයේ මහත් ආන්දෝලයක් ඇති කරමිණි. ඒ, 'කොන්ජුරීන් 2' නරඹමින් සිටි නරඹන්නන් දෙදනෙකු බිය වී සිනමාහල තුළ මරණයට පත් වීමය. එම පුවත 'කොන්ජුරීන් 2' කොතරම් බිහිසුණුදැයි කියා පෑවේය. 
'කොවිඩ් 19' නිසා ප්‍රමාද වුවත්, දැන් 'කොන්ජුරින්' චිත්‍රපට මාලාවේ තෙවැන්න 'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' ඇමෙරිකාවේ තෝරාගත් සිනමාහල් කිහිපයක පමණක් නොව, HBO Max නාළිකාව ඔස්සේ ද නැරඹීමට හැකියාව ලැබේ. 'කොන්ජුරීන්' චිත්‍රපට සඳහා පාදක වූයේ සත්‍ය සිදුවීම්ය. 

චිත්‍රපටවල කතා ගෙතෙන්නේ එඩ් සහ ලොරේන් යුවළ වටාය. පැට්‍රික් විල්සන් සහ වේරා ෆාමිගා දෙදෙනා එඩ් සහ ලොරේන් ලෙස රංගනයෙන් දායක වෙති. 'කොන්ජුරීන් 3' චිත්‍රපටයට ද පැට්‍රික් විල්සන් සහ වේරා ෆාමිගා එක් වී සිටින අතර, ඔවුන්ගේ රංගනය සැබැවින්ම අගය කළ යුතුය. එය අපූරු රංගනයකි. 

'කොන්ජුරීන් 3' චිත්‍රපටයේ කතාව ද එඩ් සහ ලොරේන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇත. දෙදෙනාගේ පළමු හමුව, වසර 30 ක විවාහ ජීවිතය සම්බන්ධයෙන් තොරතුරු නරඹන්නට විටින් විට ගෙනහැර දක්වයි. එකිනෙකාට ඇති ආදරය, දිවි හිමියෙන් එකිනෙකා බේරා ගන්නා අයුරු අවස්ථා කීපයදී දකින්න ලැබේ. පැට්‍රික් විල්සන් සහ වේරා ෆාමිගා පමණක් නොව, ප්‍රවීණ නළු ජෝන් නෝබල් ද චිත්‍රපටයට එක් වී සිටී. 

ඊට අමතරව, සාරා කැතරීන් හුක්, රුආරි ඕ කොනර්, ෂැනොන් කුක් ආදී නවක නළු නිළි කැළක් ද 'කොන්ජුරීන් 3' සඳහා රංගනයෙන් එක්වී සිටිති. ඒ සියලු රංගනයන් අපූරුය. 'කොන්ජුරීන්' චිත්‍රපට මාලාවේ රසික රසිකාවියන් පමණක් නොව සිනමා විචාරකයන්ගේ ද අදහස නම් 'කොන්ජුරීන් 3' චිත්‍රපටයේ, ඔවුන් අපේක්ෂා කළ බිහිසුණු බව, ත්‍රාසය සහ කුතුහලය අඩු බවය. 

'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' මයිකල් චේව්ස්ගේ අධ්‍යක්ෂණයකි. 

"කොන්ජුරින් චිත්‍රපට හොලිවුඩයේ Horror චිත්‍රපටවල සන්ධිස්ථානයක්. බය කියන දේ උපරිමයෙන් දැනෙන චිත්‍රපට දෙකක්. කොන්ජුරීන් 1 සහ 2 නැරඹූ කෙනකු කොන්ජුරීන් 3 නරඹන්න යන්නේ පළමු චිත්‍රපට දෙකට නොදෙවැනි ආකාරයේ වින්දනයක් අපේක්ෂාවෙන්. ඒත් කියන්න කනගාටුයි. එම බලාපොරොත්තු සුන්වෙනවා." චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනකු ගේ අදහස මෙයයි. 

හොලිවුඩයේ තරුණ අධ්‍යක්ෂකවරයකු වන, මයිකල් චේව්ස් Horror චිත්‍රපටවලට අමුත්තකු නොවේ. 'ද මේඩ්න්', 'ද කර්ස් ඔෆ් ලා ලෝනා' 'රෙකනින්' ආදිය මයිකල් චේව්ස් අධ්‍යක්ෂණය කළ ඇඟ කිළිපොළා යන චිත්‍රපටය. 26 හැවිරිදි මයිකල් චේව්ස් අධ්‍යක්ෂවරයකු පමණක් නොව, තිරචරකයෙකු මෙන්ම පරිගණක ද්‍රෂ්‍ය ප්‍රයෝග නිර්මාණශිල්පියකු ද වෙයි. කෙසේ නමුත් 'කොන්ජුරීන් 3' චිත්‍රපටය, 'කොන්ජුරීන්' චිත්‍රපට මාලාවේ සුලමුල හෙළි කරන 'ද නන්' චිත්‍රපටයට වඩා හොඳ යැයි ඇතැම් විචාරකයන්ගේ අදහස වී ඇත. 
ඊට අමතරව, 'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' චිත්‍රපටයට භාවිත කළ පරිගණක ද්‍රෘෂ්‍ය ප්‍රයෝග සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව තවත් බොහෝ දෙනකුගේ අදහසය. 

'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' චිත්‍රපටයේ කතාව වන්නේ, යක්ෂාත්මයක සාපයට ලක් වී, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණ දඩුවම හිමිවන ආර්නී නමැති තරුණයා, මරණ දඩුවමින් බේරා ගැනීමට, අධිකරණය හමුවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට එඩ් සහ ලොරේන් ගන්නා උත්සාහයයි. එය එඩ් සහ ලොරේන්ගේ ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමකි. 

පැය 1 යි මිනිත්තු 52 ක ධාවන කාලයක් සහිත 'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' අවසන් වන්නේ, තවත් 'කොන්ජුරීන්' චිත්‍රපටයකට මඟ පාදමිනි. ඒත්, ඒක් දෙයක් පැහැදිලිය. තිරපිටපතේ අඩුපාඩු තිබුණත්, 'කොන්ජුරීන්' පළමු සහ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂය කළ ජේම්ස් වැන්, 'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' අධ්‍යක්ෂණය කළේ නම්, මෙය මීටත් වඩා සාර්ථක චිත්‍රපටයක් විය හැකිය. 'කොන්ජුරීන්: ද ඩෙවිල් මේඩ් මී ඩූ ඊට්' සඳහා නිෂ්පාදකවරයකු ලෙස ජේම්ස් වැන් සම්බන්ධ වී සිටී. 

44 හැවිරිදි ජේම්ස් වැන් උපතින් මැලේසියානුවෙකි. අද ඔහු ඇමෙරිකාවේත් ඕස්ට්‍රේලියාවේත් පුරවැසියෙකි. ජේම්ස් වැන් සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි. 'කොන්ජුරීන්' චිත්‍රපට ආරම්භයට පෙර, 2010 දී 'ඉන්සිඩියස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජේම්ස් වැන් ය. 'කොන්ජුරීන්' සේම, 'ඉන්සිඩියස්' චිත්‍රපටය ප්‍රධාන චිත්‍රපට ත්‍රනක් සහ තවත් චිත්‍රපට රැසක ආරම්භය විය. ඊට අමතරව, 2004 'සෝව්', 2014 'ඇනබෙල්', 2018 'ද නන්' ජේම්ස් වැන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.

Classified_Ad

Classified_Ad_News_Bottom