නැව නිසා සිදුවුණු හානිය වචනයෙන් කියන්න බෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

නැව නිසා සිදුවුණු හානිය වචනයෙන් කියන්න බෑ

රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කරයි. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර ඇති බව කී ඇමතිවරයා මේ සම්බන්ධ තීරණ රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනු බවද කීවේය. 

ගිනිබත් වු නෞකාවට අදාලව කෙතරම් වන්දියක් ලැබුනත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකි බව කී අමාත්‍යවරයා එය ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව ද ප්‍රකාශ කළේය. 

තෙල් කාන්දුවක් සිදුවුවහොත් දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය. නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවත් ජනාධිපතිවරයා පැවසූ බව ඇමතිවරයා පැවසීය. 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය. 

නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව කී ඇමතිවරයා මෙම සිදුවීමට වගකිව යුතු සියලු දෙනාට දඩුවම් ලබා දිය යුතු යැයිද සඳහන් කළේය.

෴ ඩයනා උදයංගනී
 උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom