මුගටියන් රවටන කලහාරි කවුඩා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 14, 2021

මුගටියන් රවටන කලහාරි කවුඩා

කලහාරී යනු අර්ධ ශුෂ්ක සවානා කාන්තාරයකි. තැන තැන කටු පදුරු සහිත ගස් දකින්න ලැබෙන, ගිනි අව්වේ පිහිටි කලහාරි කාන්තාරය, වර්ග කිලෝ මීටර් ලක්ෂ නවයක් පුරා පැතිර පවතී. ඔකවැංගෝ නදිය කලහාරී කාන්තාරයේ ජීව නාලියයි. අප්‍රිකා මහද්වීපයේ කෙළවරට වන්න, බොට්ස්වානා, නැමීබියා සහ දකුණු අප්‍රිකාව පුරා කලහාරී කාන්තාරය විසිරී පැතිරී පවතී. කාන්තාරයේ වැඩි ප්‍රදේශයක් අයත් වන්නේ බොට්ස්වානා රාජ්‍යයටය. අර්ධ ශුෂ්ක කාන්තාර ප්‍රදේශයක් වුවත් කලහාරි කාන්තාරය නොයෙක් නොයෙක් අපූරු ජීවීන්ගෙන් පොහොසත්ය. 
ඩ්‍රොන්ගෝ 
කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස හැඳින්වෙන්නේ ඩ්‍රොන්ගෝ ය. ඩ්‍රොන්ගෝ කවුඩු විශේෂයකි. ඩ්‍රොන්ගෝ, අප්‍රිකාවට ආවේණික කළු පැහැති, දෙබල වූ පෙඳයක් ඇති කුරුල්ලෙකි. ඩ්රිකුරස්  චෑටෝර්තින්කස් සත්ව විද්‍යාත්මක නාමයෙන් මේ කුරුල්ලා හැඳින්වෙයි. අප්‍රිකානු ඩ්‍රොන්ගෝ සහ සවානා ඩ්‍රොන්ගෝ යැයි ද මේ කුරුල්ලාට කියයි. ඩ්‍රොන්ගෝ අප්‍රිකා රටවල සුලබව දකින්න ලැබෙන කුරුලු විශේෂයක් ද වෙයි. කලහාරියේ ‘රැවටිලිකාරයා’ ලෙස ප්‍රකට ඩ්‍රොන්ගෝ කරන, ‘රැවටිල්ල’ සැබැවින්ම හරිම අපූරුය. 
මියර්කැට්
‘ඩ්‍රොන්ගෝ’ ගේ රැවටිල්ලට ලක් වන්නේ පුංචි ක්ෂිරපායීන් රංචුවකි. මොවුන් කලහාරිය නිවහන කරගත් මුගටි විශේෂයකි. මොවුන් හැඳින්වෙන්නේ ‘මියර්කැට්’ යන නමිනි. මියර්කැට් මුගටියෝ සමූහ වශයෙන් ජීවත් වෙති. එක් මියර්කැට් පවුලකට සාමාජිකයන් දුසිමකි. මියර්කැට් මුගටියන් ‘සුරිකේට්’ යන නමින් ද හැදින්වෙයි. මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය වන්නේ ‘සුරිකාටා සුරිකට්ටා’ ය. කලහාරි කාන්තාරයේ පමණක් නොව නැමීබ් කාන්තාරයේ ද මෙම මුගටියන් දකින්න ලැබේ. ඊට අමතරව ඇංගෝලාවේ ද මෙම මුගටියෝ ජීවත් වෙති. 

උදේ කෑම 
ලොකු කුඩා තරුණ මහලු ආදී වශයෙන් නොයෙක් නොයෙක් සාමාජිකයන්ගෙන් සුසැදි මියර්කැට් පවුල උදෑසන අවදි වී, ඔවුන්ගේ ගුලෙන් පිටතට පැමිණෙන්නේ උදෑසන ආහාරය සොයමින්ය. කාන්තාර ප්‍රදේශයේ ආහාර සෙවීම අසීරු කාර්යයකි. එසේ වුවත් මියර්කැට් යනු ආහාර සොයා ගැනීමට හපනෙකි. මියර්කැට්ගේ ප්‍රණීත ආහාරය, රන්වන් පැහැ ගෝනුස්සන්ය. සැඟවී සිටින තැන්වලින් ගෝනුස්සන් සොයා ආහාරයට ගැනීමට මියර්කැට් දක්ෂයෙකි. මියර්කැට් රංචුව අවදි වී ගුලෙන් පිටතට පැමිණෙන තෙක් ඩ්‍රොන්ගෝ කවුඩා බලා සිටී. කවුඩා සෙමින් සෙමින් මියර්කැට් රංචුව ආහාර සොයමින් සිටින තැනට පියඹා ගොස් ගසක ඉහළට වී බලා සිටී. මියර්කැට් මුගටියන්ගේ පමණක් නොව, ඩ්‍රොන්ගෝගේ ප්‍රියතම කෑම ද ගෝනුස්සන්ය. 
ආරක්ෂකයා
මුගටි රංචුව ගෝනුස්සන් සොයමින් යන්නේ විටින් විට පසුපස ගාත්‍රාවලින් කෙළින් වී, අවට අනතුරක් ඇතිදැයි විපරම් කරමිනි. අනතුරක් නැති බව සැකහැර දැන ගැනීමෙන් අනතුරුව, ගෝනුස්සන් සෙවීම අරඹයි. මුගටි රංචුව ගෝනුස්සන් සොයමින් යද්දී, රංචුවේ සිටින එක් සාමාජියකු අවට විපරම් කර බලයි. මේ කණ්ඩායමේ ආරක්ෂකයාය. මෙයා ආහාර සොයන්නේ නැත. ආරක්ෂකයාගේ රාජකාරිය විමසිල්ලෙන් සිටීම පමණි. අනතුරක සේයාවක් දුටු සැණින් හෝ ඉව දැණුනු සැණින් මේ ආරක්ෂකයා අනතුරු අඟවන හඩින් කෑ ගසයි. එවිට මුගටියන් එක පොදියට ආරක්ෂක ස්ථාන වෙත දිවීම අරඹයි.

අනතුරක්
මියර්කැට් රංචුව ගෝනුස්සන් සෙයද්දී, ඔවුන්ට කිට්ටු වී ගසක වසා සිටින ඩ්‍රොන්ගෝ උගේ කපටි සැලැස්ම ක්‍රියාවට නංවයි. මියර්කැට් මුගටියන් සොයා ගන්නා ගෝනුස්සන් ආහාරයට ගැනීමට නම්, තමන් පළමුවෙන් මියර්කැට් රංචුවේ විශ්වාසය දිනාගත යුතු බව ඩ්‍රොන්ගෝ දනී. ඩ්‍රොන්ගෝ වටපිට බලයි. ඈත උකුස්සකු පියාසර කරනු පෙනයි. උකුස්සා පුංචි මියර්කැට්ලාගේ සතුරෙකි. උකුස්සන් මුගටියන් ආහාරයට ගනී. උකුස්සා පැමිණෙනවා යැයි ඩ්‍රොන්ගෝ අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. මුගටියෝ කලබල වෙති. උන් වහා ආරක්ෂිත ස්ථානයක් බලා දිවීම අරඹයි.

පළමු රැවටිල්ල
උකුස්සා පියඹා ගිය පසු, මියර්කැට් රංචුව යළි ආහාර සෙවීමේ කටයුතු ආරම්භ කරයි. දැන්, මියර්කැට් රංචුවේ විශ්වාසය දිනා ගැනීමට දැන් ඩ්‍රොන්ගෝ සමත් වී සිටී. එක් මියර්කැට් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගනී. විමසිල්ලෙන් සිටින ඩ්‍රොන්ගෝ එය දකී. උකුස්සා පැමිණෙනු දැක අනතුරු ඇඟවූ අයුරින්, ඩ්‍රොන්ගෝ කෑ ගසයි. මුගටියෝ කලබල වෙයි. ගෝනුස්සා අතහැර සැඟවීමට දුවති. එය බොරු අනතුරු ඇඟවීමකි. ඩ්‍රොන්ගෝ පියඹාවිත් ගෝනුස්සා ඩැහැ ගනී. කවුඩා තමන් රැවටූ බව මියර්කැට් මුගටියන්ට වැටහෙන්නේ ගෝනුස්සා රැගෙන කඩුඩා පියඹා යද්දීය. 

රැවටෙන්නේ නෑ
යළිත් වරක් මියර්කැට් මුගටියෝ ගෝනුස්සන් සෙවීම අරඹති. ඩ්‍රොන්ගෝ කවුඩා ද අසල ගසක රැඳී සිටී. මියර්කැට් රැවටීම පහසු බව ඩ්‍රොන්ගෝ දනී. යළි රැවටිල්ලකට සූදානම් වෙයි. යළිත් වරක් මුගටියකු ගෝනුස්සකු අල්ලා ගත් සැණින්, උකුස්සා එන බව අනතුරු අඟවන අයුරින් ඩ්‍රොන්ගෝ කෑ ගසයි. ඒත් මේ වතාවේ මියර්කැට් මුගටියන් ඊට රැවටෙන්නේ නැත. ඩ්‍රොන්ගෝ සිතූ තරමට මියර්කැට් මෝඩ නැත. ඩ්‍රොන්ගෝ පහළට පියඹාවිත් ගෝනුස්සා ඩැහැගන්න තැත් කළත් එය සාර්ථක වෙන්නේ ද නැත. මුගටියන් දත් විලිස්සා ගොරවමින් ඩ්‍රොන්ගෝ පලවා හරී. රසබර ගෝනුස්සා ඩ්‍රොන්ගෝ කවුඩාට අහිමි වෙයි. 
දෙවැනි රැවටිල්ල
විනාඩි කිහිපයක් ගතවෙද්දී, යළිත් මියර්කැට් රංචුව යළිත් ගෝනුස්සන් සෙවීම අරඹයි. මෙවර ඩ්‍රොන්ගෝ පෙනෙන්න නැත. ඩ්‍රොන්ගෝ මුගටියන් අසල රැඳී සිටින්නේ මුගටියන්ට නොපෙනන අයුරිනි. මුගටියෙක් ගෝනුස්සකු අල්ලා ගනී. ඒ සමඟ අනතුරු ඇඟවීමේ හඬක් ඇසෙයි. ඒ, හඬ මියර්කැට් මුගටියන්ට පමණක් ආවේණික ඔවුන්ගේ අනතුරු හඬය. එය කරන්නේ, පිරිස ගෝනුස්සන් සොයද්දී, විමසිල්ලෙන් සිටන ආරක්ෂක සාමාජික යැයි සිතා මුගටියෝ කලබල වී ගෝනුස්සා අතහැර පණ බේරා ගැනීමට දුවති. ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සැඟවෙති. එහෙත්, මුගටි රංචුවේ ආරක්ෂකයා උඩ බිම බලයි. තමා අනතුරු ඇඟවීමක් කළේ නැති බව ඌ දනී. 

කුරුල්ලාගේ මොළේ
සිද්ධ වුණේ මොකක්දැයි හති හරිමින් බලද්දී, ඩ්‍රොන්ගෝ කවුඩා පැමිණ ගෝනුස්සා ඩැහැගනී. මෙවර මුගටියන් අනුකරණය කරමින්, උන්ගේ අනතුරු ඇඟවීමේ හඬ නිකුත් කර ඇත්තේ ඩ්‍රොන්ගෝ කවුඩාය. ඩ්‍රොන්ගෝ ජය ගනී. තමන් මෝඩයන් කළ කඩුඩා දෙස මුගටියෝ දුක්මුසුව බලා සිටිති. ගසක අත්තක වසන ඩ්‍රොන්ගෝ කවුඩා ගෝනුස්සා රස බලයි. ක්ෂීරපායීන් රංචුවක් බුද්ධිමත් මෙන්ම කපටි කුරුල්ලකුට රැවටුණු හැටි විස්මිතය.
ඩේවිඩ් ඇටන්බරෝ 
ඉදිරිපත් කරන BBC Africa ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom