‍ගෙදර වැඩ වැඩියි: පුංචි දැරිය මෝදිට පැමිණිලි කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 29, 2021

‍ගෙදර වැඩ වැඩියි: පුංචි දැරිය මෝදිට පැමිණිලි කරලා

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වැසී යෑමත් සමඟ ඔන්ලයින් 'සූම්' තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අධ්‍යාපනය තමන්ට පමණක් නොව තමන්ගේ වයසේ අනෙකුත් දරු දැරියන්ට පවා දරා ගැනීමට නොහැකි තරම් බර වැඩි යැයි පෙන්වා දෙමින්, ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ 6 හැවිරිදි දැරියක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට වීඩියෝ පණිවුඩයක් යොමු කර තිබේ. 

වීඩියෝ පණිවුඩය අග්‍රාමාත්‍ය මෝදිට යොමු කිරීම සිදුවූයේ ජම්මු කාශ්මීර ආණ්ඩුකාර මනෝජ් සිංහා හරහාය. මේ වනවිට ඉන්දීය මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 

"ආයුබෝවන්, මෝදි සර්! මා පුංචි ගෑනු ළමයෙක්. වයස අවුරුදු හයයි. සූම් ඉගැන්වීම් ගැන මා යමක් පැහැදිලි කරන්න ඕනෑ. අපට ඉංග්‍රීසි, ගණිතය, උර්දු, පරිසර විද්‍යාව, පරිගණක තාක්ෂණය කියන මේ සේරම සූම් වීඩියෝවලින් උගන්වනවා. ඒක හොඳයි. ඒත් මේ පාඩම් පුංචි අපට බර වැඩියි. ඉහළ පංතිවල අයියලා අක්කලාට නම් ඒවා තේරෙනවා. ගෙදර වැඩත් ගොඩක් කරන්න ලැබෙනවා. ඒවා ඉවර කරගන්නවත් අපට බෑ. ගුරුවරුන් හුඟක් ගෙදර වැඩ දෙනවා. එක දිගට පැය ගණනක් වාඩි වෙලා ඉන්නත් අමාරුයි.'' යැයි දැරිය වීඩියෝ පණිවුඩය හරහා පැහැදිලි කරයි. 

දැරිය අධ්‍යාපනය ලබන පාසල විසින් සූම් තාක්ෂණය ඔස්සේ දිනපතා උදේ 10 සිට 2 තෙක් ඉගැන්වීම් සිදු කරයි. දැරිය පෙන්වා දෙන ආකාරයට නිර්දේශිත විෂය නිර්දේශය පොඩි දරුවන්ට සංකීර්ණ වැඩිය. දැරිය, අග්‍රාමාත්‍ය මෝදිගෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සොයා බැලිමක් කරන ලෙසය. 

දැරියගේ මෙම වීඩියෝව නැරැඹූ මාපියන් පමණක් නොව, ගුරුවරුන් ද අදහස් දක්වමින් මාධ්‍ය හරහා පවසා ඇත්තේ පොඩි දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් නව විෂය නිර්දේශ සැකැසිය යුතු බවත්, දැනට පවතින්නේ යල් පැන ගිය විෂය නිර්දේශ බවත්ය. ඉන්දීය අධ්‍යාපන කටයුතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් ජම්මු කාශ්මීර අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය. 

Hindustan Times

Classified_Ad

Classified_Ad_News_Bottom