භීතිය පතුරුවන තලේබාන් ත්‍රස්තයෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Aug 15, 2021

භීතිය පතුරුවන තලේබාන් ත්‍රස්තයෝ

'කොවිඩ් 19' වසංගතය මැද කලාපීය මෙන්ම ගෝලීය ආරක්ෂාවට ද තර්ජනයක් වෙමින් ඇෆ්ගන් තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම ආරම්භ කළහ. ඒ, මීට වසර 20 කට පෙර ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්, තලේබාන් පාලනය පෙරළා දැමූ ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය අතහැර යෑමෙන් පසුවය. 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ හදිසි තීරණයකට අනුව විදෙස් සොල්දාදුවෝ නිදි පැදුරටත් නොකියා පිටව ගියහ. ඒ, ඇෆ්ගන් සිවිල් වැසියන් අමාරුවේ දමමිනි. විදෙස් හමුදා පිටව ගිය සැණින්, තලේබාන්වරු යළි ඔවුන්ගේ බලය වර්ධනය කර ගැනීම ආරම්භ කළහ. 

ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර කෙමෙන් කෙමෙන් අල්ලා ගත්තේ ඇමෙරිකන් හිතවාදී ඇෆ්ගන් සිවිල් වැසියන්, ආගමික නායකයන්, ඇෆ්ගන් රජයේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කරමිනි. කාබුල් අගනුවර වැටලූ ත්‍රස්තයන් මේ වනවිට අගනුවරට පහර දීම ආරම්භ කර තිබේ. 

 මීට වසර 42 කට පෙර, 1979 වසරේ දෙසැම්බර් 24 වැනිදා, දකුණු ආසියාවේ බලය තහවුරු කර ගැනීමේ අරමුණින්, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළහ. සෝවියට්වරුන්ගේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් හිතවාදී රජයක් පිහිටුවීම ඒ අනුව සිදුවිය. මේ අතර, කොමියුනිස්ට් විරෝධී මුස්ලිම් ගරිල්ලෝ පිරිසක්, සෝවියට්වරුන් පිහිටවූ 'වාමාංශික රූකඩ රජයට' සහ සහ සෝවියට් හමුදාවට එරෙහිව නැගී සිටින්නට වූහ. ඇෆ්ගන් කොමියුනිස්ට් හිතවාදී රජයට එරෙහිව නැගී සිටි මෙම ගරිල්ලන් පෂ්තුන්වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් විය. 

 ඇෆ්ගනිස්තානයේ බලගතුම ජන කොට්ඨාශය මෙම පෂ්තුන්වරුන්ය. මධ්‍යම සහ දකුණු ආසියානු රටවල් නිජබිම කරගත්, පෂ්තුන්වරුන් යනු ඉරාන සම්භවයක් ඇති වැසියන්ය. 2020 සිදු කළ සංගණනයකට අනුව, ඇෆ්ගනිස්තානයේ පෂ්තුන්වරුන් ගණන 15,390,402 කි. ලොව වැඩිම පෂ්තුන්වරුන් සිටින්නේ පාකිස්තානයේය. පාකිස්තාන පෂ්තුන්වරුන් ගණන 43,444,221 කි. පෂ්තුන්වරුන්ගේ භාෂාව පැෂතෝ ය. පෂ්තුන්වරුන් අතර බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වන අතර සුළුතරය ෂියා මුස්ලිම්වරුන්ය. සෝවියට් ආක්‍රමණයත්, කොමියුනිස්ට් විරෝධී මුස්ලිම් ගරිල්ලන්ගේ විරෝධයක් හමුවේ ගැටුම් ඇරැඹිණි. මෙම ගැටුම් 1992 වසර තෙක් පැවැත්විණි. 

පෂ්තුන්වරුන් එකමුතු වී ආරම්භ කළ අරගලයට වෙනත් ඉස්ලාමීය කණ්ඩායම් ද අවි අතට ගනිමින් එක් විය. පොදුවේ මේ සියලු දෙනා මුජහදීන් යන නමින් හැඳින්විනි. 'මුජහදීන්' යනු දෙවියන්ගේ නාමයෙන් අවි අතට ගෙන සටන් කරන තැනැත්තා' යන්නය. සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත්, දකුණු ආසියාවේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් උත්සාහ කිරීමත් සමඟ ලෝකයේ අනෙක් බලවතා ඇමෙරිකාව සතුටට පත් වූයේ නැත. ඇමෙරිකා සී.අයි.ඒ. සංවිධානය නිල නොවන මට්ටමින්, මුජහදීන් අන්තවාදීන් සමඟ හිතවත්කම් පවත්වන්න විය. ඒ, පාකිස්තානය හරහාය. 

අවි ආයුධ දෙමින් මුජහදීන්වරුන් පෝෂණය කරන්න පටන් ගත්තේය. සෝවියට්වරුන්ගේ කොමියුනිස්ට්වාදයට එරෙහිව ඇමෙරිකාව රහස් සංග්‍රාමයක් ආරම්භ කළේය. ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය, ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී සටන්කාමී සංවිධානයක් නිර්මාණය කළේ ඒ අනුවය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබියදී, සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය අතහැර පිටවී යන්න පටන්ගෙන තිබුණි. 

මේ වනවිට සී.අයි.ඒ. සංවිධානයේ ද මඟ පෙන්වීම යටතේ පාකිස්තානයේ සහාය ඇතිව එරට උතුරුදිග ප්‍රදේශවල මද්‍රාසා පාසල් හරහා අන්තවාදීන් බිහි කිරීම සිදුවෙමින් පැවැතිණි. එදා රහසේ සිදුවුවත් මේ කිසිවක් අද ලොවට රහසක් නොවෙයි. එදා ඉන්දියාවට වඩා ඇමෙරිකාව සමීප වූයේ පාකිස්තානයටය. 

 තලේබාන් සංවිධානයේ නිර්මාතෘ, පාකිස්තානය යැයි චෝදනා එල්ල වුවත් පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. පාකිස්තානයේ මද්‍රාසා පාසල් පිහිටුවා ඒවා හරහා දැඩි අන්තවාදීන් නිර්මාණය කිරීම ලොවට රහසක් නොවෙයි. තලේබාන් සංවිධානය බිහි කිරිමට සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහාය දැක්වූවා පමණක් නොව, තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන පිහිටුවූ රජය පිළිගැනීමට පවා සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටයුතු කළේය. 

1990 දශකයේ, සෝවියට් හමුදා පිටවී යෑමත්, ඇමෙරිකාවට තව දුරටත් ඇෆ්ගනිස්තානය ගැන තැනීමක් නොතිබීමත් සමඟ මුජහදීන්වරු 'තලේබාන්' යන අලුත් නමින් කරළියට පැමිණියහ. පෂ්තෝ බසට අනුව 'තලේබාන්' යන්නෙහි අර්ථය 'ශිෂ්‍යයන්' යන්නය. උතුරුදිග පාකිස්තානයෙන් ආරම්භ වී, සාමය සහ ආරක්ෂාව සහතික කරමින්, පෂ්තුන්වරුන් දැඩි අන්තවාදී ආකාරයට ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් පාලනයක් ආරම්භ කළේය. දැඩි මතධාරී සුන්නි ඉස්ලාම් දහම ප්‍රචලිත කරන්න විය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මුදල් ආධාර ලැබුණේ සෞදි අරාබියෙනි. 

1995 දී තලේබාන්වරු ඉරානයට මායිම්ව පිහිටා ඇති හේරත් පළාත අත්පත් කර ගත්හ. ඊට හරියටම වසරක් ගත වෙද්දී, එනම් 1996 දී තලේබාන්වරු කාබුල් අගනුවර අත්පත් කර ගත්හ. ඒ, ජනාධිපති ලෙස කටයුතු කළ බුර්හනුදීන් රබ්බානි ප්‍රමුඛ රජය නෙරපා දමමිනි. බුර්හනුදීන් රබ්බානි යනු සෝවියට්වරුන්ට එරෙහිව සටන් වැදීමට මුජහදීන්වරුන් එකමුතු කළ පුරෝගාමියෙකි. 1998 වසර වෙද්දී, ඇෆ්ගනිස්තානයෙන් සියයට 98 ක් තලේබාන්වරුන් සතු විය. 

 තලේබාන්වරුන් පළමුවෙන් කරළියට පිවිසෙද්දී, සෝවියට්වරුන් සහ මුජහදීන්වරුන් අතර පැවැති ගැටුම් හේතුවෙන් හෙම්බත් වී සිටි ඇෆ්ගන් වැසියන්ගේ සහාය ඔවුන්ට නොඅඩුව ලැබුණි. තලේබාන්වරුන් ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළේ වංචා දූෂණ නවත්වමිනි. අවනීතිය රජ කළ ඇෆ්ගනිස්තානය ඇෆ්ගන් වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් බවට ඒ අනුව පත්විය. තලේබාන්වරුන් රටේ පළාත් සහ නගර අල්ලා ගනිද්දී ජනතා විරෝධයක් ඊට යොමු නොවුණු අතර, බොහෝ දෙනා තලේබාන්වරුන් සමඟ එක් විය. 

දැඩි ෂරියා නීතිය යටතේ අපරාධ යටපත් විය. වරදකරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දීම සිදුවිය. පිරිමින් රැවුල වැවීම කළ යුතු වූ අතර කාන්තාවන් බුර්කා පැලඳීම අනිවාර්ය විය. බාලිකා අධ්‍යාපනය තහනම් වුණු අතර, කාන්තාවන්ට තහංචි පැනවිණි. රූපවාහිනිය, සිනමාව, සංගීතය තහනම් කෙරුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, තලේබාන්වරුන් මානව හිමිකම් කඩන්න ට විය. අන්තවාදී ඉස්ලාම් දහම හැර වෙනත් ආගමකට ඉඩක් තිබුණේ නැත. මධ්‍යම ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ බාමියන් බුදු පිළිම ඩයිනමයිට් යොදා පුපුරුවා විනාශ කළේ මුළු ලොවම එක හඩින් ඊට විරෝධය දක්වද්දීය. 

 සෝවියට්වරුන්ට එරෙහි සටනේදී සී.අයි.ඒ. සංවිධානයට සහාය දක්වමින්, ඇමෙරිකාවේ ගජ මිතුරකු වී සිටි තැනැත්තකු වූයේ සෞදි ජාතිකයකු වන ඔසාමා බින් ලාඩන්ය. ඇමෙරිකාව මුජහදීන්වරුන්ගෙන් ඈත් වෙද්දී, ඔසාමා බින් ලාඩන් ද ඇමෙරිකාවට 'අවශ්‍ය' චරිතයක් නොවිණි. තලේබාන් සංවිධානය ශක්තිමත් වෙද්දී, බින් ලාඩන් අල් කයිඩා සංවිධානය පිහිටුවා ගත්තේය. අල් කයිඩාවට තලේබාන් සංවිධානයේ සහාය මෙන්ම ආරක්ෂාව ද නොඅඩුව ලැබුණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා, ඔසාමා බින් ලාඩන් විසින් මෙහෙයවනු ලැබූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය, මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කළේය. එම ම්ලේච්ඡ ප්‍රහාරය ලෝක බලවතාට එල්ල වුණු අතුල් පහරක් විය. එදා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ය. 

සෞදි ජාතික ඔසාබා බින් ලාඩන්, සැප්තැම්බර් 11 ප්‍රහාරය මෙ‍ෙහයවූයේ අෆ්ගනිස්තානයේ සිටය. බින් ලාඩන් සහ අල් කයිඩා සාමාජිකයන්ට තලේබාන්වරුන්ගේ ආරක්ෂාවත් රැකවරණයත් හිමිවිය. සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ වුණු අල් කයිඩා ත්‍රස්තයන් සියලු දෙනා පුහුණුව ලැබුවේ ඇෆ්ගනිස්තානයෙන් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ ඒ වනවිටත් අනාවරණය කරගෙන තිබුණි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය සමඟ යුද්ධයකට පැටළුණොත්, එය දශක ගණනාවක් දිග්ගැස්සෙනු ඇතැයි යුද විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබුණ ද සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්ගේ මඟ පෙන්වීම යටතේ, ඒ වනවිටත් ඇමෙරිකාවට හිතවත්කම් පෙන්වූ ඇෆ්ගන් සන්නද්ධ කල්ලි සාමාජිකයන්ගේ ද උදවු ඇතිව ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ සැප්තැම්බර් ප්‍රහාරයේ උණුසුම මැකී යන්නටත් පෙර 2001 ඔක්තෝබර් 7 වැනිදාය. 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' එසේ ඇරැඹිණි. 

 ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගෙන් පසු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ බැරැක් ඔබාමාය. ඔබාමාගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපතිවරයා වූයේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ‍2008 වසරේ දී ප්‍රථම කළු ජාතික ඇමෙරිකන් ජනාධිපති ලෙස ඔබාමා එම ධුරය බාර ගනිද්දී ප්‍රතිඥා දුන්නේ තමන් ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන බවය. 

එසේ ප්‍රතිඥා දුන් ඔබාමා, 2009 පෙබරවාරි 17 වැනිදා අමතර ඇමෙරිකන් සෙබළු 17,000 ක් ඇෆ්ගනිස්තානයට යැවීමට නියෝග කළේට. ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සෙබළු 36,000 ක් සහ නේටෝ හමුදා බලකායට අයත් විදෙස් සෙබළු 32,000 ක් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටියහ. යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඇෆ්ගන් සංග්‍රාමය අදියර දෙකකි. 

පළමු අදියර ලෙස සැලකෙන්නේ 2001 ඔක්තෝබර් 7 වැනිදා සිට 2014 දෙසැම්බරය තෙක් කාලයයි. 2015 ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා පවතින අර්බුදය හැඳින්වෙන්නේ දෙවැනි අදියර ලෙසය. ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයට, ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට හැකි වූයේ 2011 වසරේදීය. ඒ වනවිට බින් ලාඩන්, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟවී ජීවත් වෙමින් සිටියේය. 

බින් ලාඩන්ට පාකිස්තාන හමුදාවේ සහාය ලැබුණු බවට ඇමෙරිකාව චෝදනා කළත්, එම චෝදනා ඔප්පු කිරීමට හැකි වී නැත. පාකිස්තාන රජයට හෝ හමුදාවට හෝ නොදන්වා මහ රෑ බින් ලාඩන් ඝාතන මෙහෙයුම සිදු කළේ ඇමෙරිකාවේ නේවි සීල් භට කණ්ඩායමකි. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය සමඟ හමුදාව කළ එම මෙහෙයුමට අනුමැති දුන්නේ ජනාධිපති ඔබාමාය. 

2011 මැයි දෙවැනිදා බින් ලාඩන් ඝාතනය වූ අතර, ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානයක් වූ අල් කයිඩාව ද අඩපණ විය. 2009 වනවිට තලේබාන් සංවිධානය මර්දනය කර ගැනීමටත්, ඔවුන්ගේ ග්‍රහණයේ පැවැති නගර සහ පළාත් අත්පත් කර ගැනීමටත් ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා සමත් වී තිබුණි. 2011 දී බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු ඇෆ්ගන් හමුදා සෙබළුන් සහ පොලිස් නිලධාරීන් පුහුණු කිරීමට, උපදේශකවරුන් ලෙස පමණක් සොල්දාදුවන් රඳවා සෙසු පිරිස ගෙන්වා ගැනීමට ජනාධිපති ඔබාමා කටයුතු කළේය. සෙසු නේටෝ රටවල් ද එසේ කළේය.

ඇෆ්ගන් සංග්‍රාමය ආරම්භ වී මේ දක්වා 171,000 ත් 174,000 ත් අතර පිරිසක් මරණයට පත්ව ඇතැයි ඇමෙරිකාවේ බ්‍රවුන් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මියගිය ඇෆ්ගන් සිවිල් වැසියන් ගණන 47,245 කි. මියගිය ඇෆ්ගන් හමුදා සහ පොලිස් ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 69,000 ක් පමණය. මියගිය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ගණන 51,000 කි. මෙම ගණන මීට වඩා වැඩි යැයි පැවැසෙයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, 2001 ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණයත් සමඟ එරටින් පලා ගිය ඇෆ්ගන් වැසියන් මිලියන 5.7 ක් මේ වනවිට යළි ඔවුන්ගේ ගම්බිම් කරා පැමිණ ඇති බවය. මෙම පිරිස පලා ගියේ අසල්වැසි ඉරානයට සහ පාකිස්තානයටය. ඇෆ්ගනිස්තානය තුළ මිලියන 4 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය. 

2001 විදෙස් ආක්‍රමණයෙන් පසු විදෙස් අනුග්‍රහය යටතේ ඇෆ්ගනිස්තානයේ මැතිවරණ පැවැත්වුණු අතර, නව රජයයන් පිහිටුවීය. ඒ සමඟ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් දියුණු විය. කාන්තා අයිතීන් සුරැකීමට ද පියවර ගැනිණ. ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කළේ, තලේබාන් සංවිධානය සමඟ ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. මෙම සාම වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ 2019-2020 කාලයේය. 

සාම සැලැස්මට තලේබාන් සංවිධානය අත්සන් තැබුවේ 2020 පෙබරවාරි 29 වැනිදාය. සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් හි දෝහා පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහාය. විවිධාකාරයේ මත ගැටුම් මැද සාකච්ඡා පැවැත්වීම කළේ, බයිඩන්ට පෙර සහ ඔබාමාට පසු ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. ට්‍රම්ප්ට ජනපති ධුරය හෙබවීමට ලැබුණේ එක් ධුර කාලයක් පමණි. 

මැතිවරණයේ දී දුන් පොරොන්දු අනුව, ට්‍රම්ප් ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල්තැන දුන්නේය. ඊශ්‍රායලයේ හොඳහිත වෙනුවෙන් ඉරානය සමඟ පැටළුණත්, ට්‍රම්ප් කිසිදු විදෙස් ආක්‍රමණයක් කළේ නැත. ඇෆ්ගන් යුද්ධය තවත් දිග්ගැස්සීමට ඔහුට අවශ්‍යතාවක් නොතිබුණි. 

කටාර් හි දෝහා පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහා තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කළේ ට්‍රම්ප් මැදිහත් වෙමිනි. ට්‍රම්ප් එම සාකච්ඡා සාර්ථක කිරීමට පත් කළේ සැල්මේ කලීසාද්ය. බයිඩන් පාලනය යටතේත් ඇමෙරිකා තලේබාන් විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළේ මොහුය. තලේබාන් සංවිධානය ද දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. 

තලේබාන් සංවිධානයේ ප්‍රධාන නායකයා (අමීර් අල් මු'මිනින්) වන්නේ මවුලවී හිබතුල්ලා අකුන්ද්සාදා ය. මොහු තලේබාන් හිටපු නීතිපතිවරයාය. 2016 සිට තලේබාන් සංවිධානයට නායකත්වය දෙයි. දේශපාලනික, ආගමික සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුවය. 

තලේබාන් දේශපාලනික අංශ නායකයා වන්නේ මුල්ලා අබ්දුල් ඝානී බරඩාර් ය. තලේබාන් සංවිධානය පිහිටුවීමේ දෙවැනියා ලෙස මොහු සැලකෙයි. දෝහා කටාර් හි තලේබාන් දේශපාලනික කාර්යාලයේ ප්‍රධානියා ද මොහුය. නියෝජ්‍ය නායකමුල්ලා මොහොමද් යාකූබ් තලේබාන් සංවිධානය පිහිටවූ මුල්ලා ඕමාර්ගේ පුත්‍රයාය. තලේබාන් හමුදා අණදෙන නිලධාරියා වන්නේ මොහුය. 

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සටන් මෙහෙයවීම සිදු කරන්නේ මොහුය. තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක සිරජුදීන් හක්කානීට හිමි වී ඇත. හක්කානී නමැති ඉස්ලාමීය ත්‍රස්ත ජාලයේ ප්‍රධානියා මොහුය. හක්කානී යනු තලේබාන් සහාය ඇතිව ස්ථාපිත කළ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි කීපයකින් සැදුම්ලත් ජාලයකි. තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ලෙස කටයුතු කරන්නේ‍ මුල්ලා අබ්දුල් හකීම්ය. තලේබාන් සංවිධානයේ අධිකරණ කටයුතු සියල්ල මොහු යටතේ සිදුවෙයි. 

දෝහා කටාර් හි සාකච්ඡා සඳහා පවත්වන නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ඊට අමතරව, තලේබාන් සංවිධානයට නායකත්ව මණ්ඩලයක් (රහ්බාරි ෂූරා කවුන්සිලය) ඇත. තලේබාන් සංවිධානයේ තීන්දු තීරණ ගන්නේ සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම මණ්ඩලයයි.

෴ උපුටා ගැනීම - CNN

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad