
ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ අභාවය ගැන දැනගැනීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එක් ට්විටර් පණිවුඩයකින් නොනැවතී ඇය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් තවත් ට්විටර් පණිවුඩ කිහිපයක් තබමින් සිය කනගාටුව සහ ශෝකය පළ කර ඇත. ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩ මාලාවේ මෙසේ සඳහන් වෙයි.
“ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ අභාවය දැනගැනීමෙන් මම මහත් කම්පාවට පත්විමි. ඔහු විශිෂ්ට දේශප්‍රේමියෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ප්‍රජාතන්තාවදය සහ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ අයෙක් වගේම වටිනා මිත්‍රයෙක්.
මම ඔහුගේ පවුලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් මගේ කනස්සල්ල සහ ශෝකය පළ කරනවා.
මංගල දේශපාලනයට පිවිසියේ කුරිරු සිවිල් යුද්ධයක් පැවැති සමයකි. ඔහු ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ සාමය, සහජීවනය, සහ ආත්මඅභිමානය වෙනුවෙන් සිහින දැක්කා. ඔහු මවුවරුන්ගේ පෙරමුණ නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූවා. ඒ තුළින් අතුරුදන්වූවන්ගේ තොරතුරු එක්රැස් කරමින් ඔවුන්ගේ දෛවය සහ වගවීම වෙනුවෙන් සටන් කළා.
මංගල යුක්තිය සහ ප්‍රතිසන්ධානය (සංහිඳියාව) වෙනුවෙන් සටන් කළා. ඔහු විදේශ අමාත්‍යවරයා ලෙස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට විශාල දායකත්වයක් දැක්වූවා.
ඒ වගේම යුද්ධයේ වින්දිතයන් සහ දිවිගලවාගත්තන් වෙනුවෙන් වන්දි ලබාදීමට මැදිහත් වුණා. මුදල් අමාත්‍යවරයා ලෙස යුද්ධයෙන් පසු බලාපොරොත්තු සුන් වූ පවුල්වල අය ලබාගත් ණයවලට සමාවත් සහනත් දුන්නා.
ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කරන්න මංගලට වුවමනා වුණා. ඔහු සමඟ වැඩ කිරීමට ලැබීමත් ඇමෙරිකා එක්සත් ජනපදය - ශ්‍රී ලංකාව අතර සම්බන්ධ ශක්තිමත් කිරීමට ලැබීමත් ගැන මම ගොඩක් කෘතඥ වෙනවා. ඔහු මම දන්න සුවිශේෂී රාජ්‍ය/මහජන සේවකයන්ගෙන් කෙනෙක්. ඒ වගේම විචක්ෂණශීලී/දුරවබෝධයක් ඇති ඉතා හොඳ පුද්ගලයෙක්. මට ඔහුගේ ඥානාන්විත උපදෙස්, අතිවිශාල දැනුම් සම්භාරය, වගේම මිත්‍රත්වය වෙනුවෙන් තිබුණු දුර්ලභ ත්‍යාගය යනාදී සියල්ල මට ආයේ ලැබෙන්නේ නැහැ”.
ඇයට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය, සහ තවත් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල, ඇතුළු විශාල විදේශීය රාජ්‍ය තාන්ත්‍රික ආයතන මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩ නිකුත් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හනා සිංගර් යන මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ විශාල පිරිසක් පෙරේදාත් ඊයේත් මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළහ.
෴ හර්ෂණ තුෂාර සිල්වා