අඟහරු පස් සාම්පලය හොරු අරන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 19, 2021

අඟහරු පස් සාම්පලය හොරු අරන්

නාසා ආයතනය 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය, අඟහරු හෙවත් රතු ග්‍රහයා බලා යැව්වේ අනාගත බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. 

'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය නිපදවා එය අඟහරු යැවීමේ මෙහෙයුමට නාසා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.7 කි. අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය අඟහරු ගියේ අඟහරු පෘෂ්ඨය සිදුරු කරමින් අඟහරුගේ පස් සාම්පල එක් රැස් කිරීමටය. 

මෙම සාම්පල රෝවර් යානයේ තැම්පත් කෙරෙන අතර, අනාගත අඟහරු මෙහෙයුමකදී ඒවා තවත් රොබෝ යානයක් යවා පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙයි. 'පර්සිවියරන්ස්' යානය පතිත කළේ කිලෝ මීටර් 49 ක් පළලැති 'ජෙසරෝ' නමැති අඟහරු ආවාටය මතටය. අතීතයේ මෙම ආවාටය ජලයෙන් පිරි විලයක් විය හැකි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. 

ඒ අනුව, අඟහරු මතුපිට ජීවය පැවැතියේ ද යන්න පිළිබඳ සාක්ෂි අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයෝ අපේක්ෂා කරති. 'පර්සිවියරන්ස්' රෝවරය සමඟ කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරයන් ද අඟහරු බලා ගිය අතර, එය අඟහරු වායු ගෝලයේ සංඝටක පරීක්ෂා කරමින් පියාසර කරයි. 'ඉන්ජිනියුටි' අඟහරුට යැවුණු සහ අඟහරු අහසේ පියාසර කළ පළමු හෙලිකොප්ටරය ද වෙයි. 

පසුගිය දා 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානයට පෘථිවියෙන් උපදෙස් ලැබුණේ, එහි විදින කටුව භාවිතයට ගනිමින් අගලක් තරම් පළල ඉතා කුඩා ගැඹුරු සිදුරක් කැණීමය. පෘථිවි යානයක් අඟහරු මතුපිට කැණීමක් කළ පළමු අවස්ථාව ද එයයි. සිදුර කැණීමෙන් පසු ඇතුළත පස් රෝවරයේ ටයිටේනියම් සිලින්ඩර්වලින් එකකට පුරවා ගැනීම සිදුවිය. 

සියල්ල අවසන් වී, සිලින්ඩරයේ දත්ත පරීක්ෂා කරද්දී එය හිස් විය. රෝවර් යානයේ කැමරා හරවා සිලින්ඩරය නිරීක්ෂණය කෙරුණු අතර, ඒ තුළ කිසිවක් නොවීය. පස් සාම්පලය අතුරුදන් වී ඇත. 

පස් සාම්පලයට සිදුවූයේ කුමක්ද? එය හිටිහැටියේ අතුරුදන් වූයේ කෙසේද? එය ප්‍රහේලිකාවක් මෙන්ම අබිරහසක් ද විය. නාසා විද්‍යාඥයන් පළමුවෙන් ම කළේ කැණීම් කළ කුඩා සිදුර හොඳින් නිරීක්ෂණය කිරීමය. 

'යානයේ කැමරා හසුරුවමින් අප සිදුර හොඳින් නිරීක්ෂණය කළා. හාරමින් ලබා ගත් පස් සාම්පලය එක්කෝ සිදුර අඩියේ තිබිය යුතුයි. නැතිනම් හැරීමට යොදා ගත් විදින කටුවේ තැවැරි තිබිය යුතුයි.' යැයි 'පර්සිවියරන්ස්' රොබෝ යානවේ සාම්පල රැස්කිරීමේ කටයුතු බාර ප්‍රධාන ඉන්ජිනේරු ලුවීස් ජන්දුරා මාධ්‍ය හමුවේ පැහැදිලි කරයි.

ඒත්, සිදුර අඩියේත් විදින කටුවේත් පස් තිබුණේ නැත. වැඩි දුර අධ්‍යනය කිරීමේ දී විද්‍යාඥයන් අනුමාන කළේ, සිදුර කැණීම කළ ස්ථානයේ පස් කැණීම් කරද්දී දූවිලි අංශ බවට පත්වන්න ඇතැයි කියාය. 

'පස් සාම්පලය සිලින්ඩරයට දැමුවා යැයි සිතුවත්, කැණීම් කරද්දීම ඒවා දූවිලි බවට පත්වුණු නිසා රැස් කර ගැනීමට දෙයක් තිබෙන්න නැහැ. අප අනුමාන කරන විදියට සිදුවන්නට ඇත්තේ එයයි. හේතුව පස් සාම්පලය ගන්න කෙනෙක් අඟහරු මතුපිට නැහැ' යැයි ලුවීස් ජන්දුරා පවසයි.

ඒ අනුව, ඉදිරියේ දී 'ජෙසරෝ' ආවාටයේ වෙනත් සුදුසු ස්ථානයක් තෝරා ගනිමින් යළි සිදුරක් කැණීම් කරන බවත් කෙසේ හෝ පස් සාම්පලයක් එකතු කර ගැනීමටත් නාසා ආයතනය මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom