අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්
ජනාධිපති මයිලෝස් සීමන්
චෙක් ජනරජය අතීතයේ හැඳින්වූයේ බොහීමියාව යන නමිනි. එරට මහ මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්විණි. ඇන්රේච් බබීස් මැතිවරණයට ඉදිරිපත් වූයේ යළිත් වරක් ජනවරමක් අපේක්ෂාවෙනි. අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් ප්‍රකෝටිපතියෙකි. පසුගිය දා පැන්ඩෝරා අනාවරණයට මොහුගේ ද නම ඇතුළත් විය. ඒ, බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇති බවටය.
එම අනාවරණය සිදුවූයේ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. එම අවස්ථාවේදී ද බොහෝ දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය බබීස් ට අවාසි වනු ඇතැයි කියාය. එය එසේ සිදුවුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මහ මැතිවරණයකින් පසු අග්‍රාමාත්‍යවරයා නම් කරන්නේ ජනාධිපතිවරයාය.
මැතිවරණ පරාජයත් සමඟ ඇන්රේච් බබීස් හමුවීමට ජනාධිපති මයිලෝස් සීමන් ගිය බවත්, එම හමුවේ දී, 77 හැවිරිදි ජනාධිපතිවරයා සිහිසුන්ව ඇද වැටුණු බවත්, ඔහු රෝහල්ගත කරද්දී සිහිසුන් තත්ත්වයෙන් පසුවුණු බවත් මාධ්‍ය වාර්තා පවසයි.
ජනාධිපතිවරයා ඇතුළත් කෙරුණේ ප්‍රාග් නුවර 'මිරොස්ලාව්' හමුදා රෝහලටය.
රෝහල් ප්‍රධානියා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, කාලයක සිට අක්මා රෝගී තත්ත්වයකින් පසුවුණු බවත්, හිටිහැටියේ එම රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්ය. ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරි දින කිහිපය ඇතුළත දැනුම් දෙන බවට රෝහල් ප්‍රධානියා පොරොන්දු විය.
චෙක් ජනරජයේ ව්‍යවස්ථාවට අනුව, මහ මැතිවරණයකින් පසු අග්‍රාමාතරයකු නම් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගන්නා පක්ෂය හෝ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. ජනාධිපතිවරයා නොමැති නම්, අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සකු නම් කිරීමේ කටයුත්ත පැවැරෙන්නේ පාර්ලිමේන්තු කතානායකවරයාටය.
බබිස්ගේ මධ්‍යස්ථමතධාරී 'ඒනෝ' පක්ෂය පරාජය කිරීමට සමත් වූයේ මධ්‍යස්ථ සහ දක්ෂිණාංශික මතධාරී 'එකමුතුව' දේශපාලන සන්ධානයයි. මහ මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 200 වෙනුවෙනි. 'එකමුතුව' දේශපාලන සන්ධානය දිනූ ආසන ගණන 108 කි. ඒ අනුව නව රජයක් පිහිටුවීමට ඔවුන්ට හැකියාව ලැබි තිබේ.
෴ උපුටා ගැනීම - REUTERS