මිහිමතින් සමුගත් සතුන්ට පණ දෙන්නයි හදන්නේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 1, 2021

මිහිමතින් සමුගත් සතුන්ට පණ දෙන්නයි හදන්නේ

මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් හෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නම් නොවෙයි. හැබෑවකි. ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඔවුන්ට අතීතයේ ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය සතුන්ට පණ දිය හැකි බවය. 

දැන්, 'ජුරාසික් පාක්' චිත්‍රපටය ඔබට සිහියට නැගෙනවා නිසැකයි. ඒත් විද්‍යාඥයන් පවසන ආකාරයට, ඔවුන් යළි පණ දීමට බලාපොරොත්තු වන්නේ ඩයිනසෝරයන්ට නම් නොවෙයි. ඔවුන් පණ දීමට බලාපොරොත්තු වන්නේ අයිස් යුගයේ සහ ඊට පසු ජීවත් වූ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සදහටම ලොවෙන් සමුගත් සතුන්ටය. 

මෙය සිදුවන්නේ එම සතුන්ගේ ජාන සැකැසුම ඉතා හොඳින් හඳුනා ගනිමින්, ක්ලෝන ක්‍රමයටය. ක්ලෝනකරණය යනු මුල් සත්වයාගේ පිටපතක් නිර්මාණය කිරීමය. ක්ලෝනකරණය අද අපට අලුත් දෙයක් නොවෙයි. මේ වනවිට සතුන් කීප දෙනකු ක්ලෝනකරණයෙන් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී අවසන්ය. ඒ සඳහා අවශ්‍ය දැනුම මෙන්ම තාක්ෂණය ද අප සතුය. 

එසේ වුවත්, තාක්ෂණය සහ දැනුම තිබුණත් සතකු ක්ලෝන කිරීම එසේ මෙසේ කටයුත්තක් නොවෙයි. එසේ කිරීමට නම්, විද්‍යාඥයන්ට, එම සතාගේ සම්පූර්ණ ජාන සැකැසුම ගැන අවබෝධයක් තිබිය යුතුය. අපේ ඇස් පනාපිට ජීවත් වන සතුන් ඕනෑ එකෙකුගේ ජාන සැකැසුම් ලබා ගැනීම කළ හැකිය. ඒත් වදවී ගිය සතකුගේ ජාන සැකැසුම සොයා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. 
සයිබීරියාවේ අයිස් තට්ටු අතරේ සුරැකිව පැවැති මැමත් පැටවකුගේ සිරුරක්
ඉදිරි වසර කීපය ඇතුළත මැමත් සතකුට පණ දිය හැකි බව විද්‍යාඥයෝ විශ්වාසයෙන් පවසති. ඒ සයිබීරියාවෙන් හමුවුණු, හිමෙන් මිදී ගිය මැමත් සතුන්ගේ ඉතාමත් හොඳින් සුරැකුණු සිරුරු කොටස් කීපයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇති බැවිනි. 

මැමත් සතුන්ගේ ජාන ව්‍යුහය සම්පූර්ණයෙන්ම වාගේ හඳුනා ගැනීමට ද විද්‍යාඥයෝ සමත් වී සිටිති. මැමත් සතකුට යළි පණ දීමට උත්සාහ ගන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු වන බෙන් ලෑම් සහ ජාන විද්‍යාඥයකු වන ජෝර්ජ් චර්ච් යන දෙදෙනාය. 

මෙම කටයුතු සිදුවන්නේ ජාන විශ්ලේෂණයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන 'කොලෝසල්' පර්යේෂණ ආයතනය සමඟ එක් වෙමිනි. 2027 වසර වෙද්දී අපට පණ ඇති මැමත් සතකු දකින්න ලැබෙනු ඇතැයි ජෝර්ජ් චර්ච් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

මැමත් සතුන් සේම යළි පණ දිය හැකි සතකු ලෙස පැවැසනේනේ ඩෝඩෝ ය. මැමත් මෙන් නොව, ඩෝඩෝ මෙලොවින් වඳවූයේ 1600 දශකයේය. ඒ, මිනිසුන් ඉවක් බවක් නොමැතිව උන් දඩයම් කළ බැවිනි. 


ඩෝඩෝ යනු කළුකුමකු තරම් ලොකු පියාඹන්න නොහැකි කුරුල්ලෙකි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපේ දෑස් ඉදිරිපිට ලොවෙන් සමුගත් සත්වයා ලෙස සැලකෙන්නේ ඩෝඩෝ ය. 

මැමත් සහ ඩෝඩෝ සතුන්ට යළි පණ දීමෙන් අනතුරුව, මැමත් සතුන් සේම අයිස් යුගයේ ජීවත් වූ තවත් සතුන් කීපදෙනකුට පණ දීමට විද්‍යාඥයන්ගේ අවධානයව මේ වනවිටත් යොමු වී අවසන්ය. 

වසර 10,000 කට පෙර ජීවත් වුණු ලෝම පිරුණු යෝධ රයිනෝ, වසර දහස් ගණනකට පෙර ජීවත් වුණු යෝධ මන්දයා, තියුණු දත් ඇති සේබර් ටෲත් ව්‍යාඝ්‍රයා ඒ අතරින් කීප දෙනෙකි. 

෴ උපුටා ගැනීම - The SUN

Classified_Ad

Classified_Ad_News_Bottom