කාර්යබහුල වුණත් ජීවිතේ සතුටින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 17, 2021

කාර්යබහුල වුණත් ජීවිතේ සතුටින්

ලස්සන විතරක් නෙවෙයි, බොහොම නිරහංකාර කෙනෙක් කියලයි බොහෝ දෙනා කියන්නෙ. මේ නිසාම ඇයට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ආදරය කරන බව කියන්න පුළුවනි. ජනප්‍රියත්වය උද්දච්චකමක් කර නොගත්ත ලස්සන ‘එමාෂා’ ජීවිතය ලස්සන කරගෙන සිටින්නෙ උගත්කම, ගුණයහපත්කම නිසා කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ. මේ විදියට කාගෙත් පැසසුම් ලබන මේ ලස්සන ‘එමාෂා’ හිතුවක්කාරී නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සමඟ ටෙලි තිරය හැඩ කරන මොහොතක, මේ කතාබහ ඇය සමගයි. 

එමාෂා කියන්නද? හිතුවක්කාරි කියන්නද? 
කැමති විදිහකට කතා කරන්න. එමාෂා කියන නමට තමයි මම වඩා කැමති.

‘එමාෂා’ කියන නම ඔබට විතරමද තියෙන්නෙ? ටිකක් අඩුයි නේද?
මගේ පුංචිනෙ මට ඒ නම දැම්මෙ. ඒක රුසියානු ආභාෂයෙන් එන නමක්. ඒකෙ තේරුම දක්‍ෂ ලස්සන ගැහැනු ළමයා කියන අරුත. 
ඒ අරුත ඔයා සනාත කළා? 
මම එහෙම හිතනවා. කොහොමහරි ඒ නම ගැන මට හරි සතුටුයි.

ඒ නම දාපු ඔයාගෙ ‘පුංචි’ ගැන කියමු?
ඇය ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. පුංචි ඉතින් මට අම්මා වගේම ආදරෙයි. පුංචි මට මගේ දෙවැනි අම්මා වගෙයි. මමත් පුංචිට හරිම ආදරෙයි. මගෙ අම්මි වගේම පුංචිත් හරිම ලස්සනයි. ඒ වගේම එයාලගෙ හිතත් ලස්සනයි. හරිම කරුණාවන්ත අය.

ඉතින් කොහොමද එමාෂා ජීවිතේ? 
ජීවිතය හොඳයි. සතුටින් ගත කරනවා. ටිකක් විතර කාර්යබහුලයි. කොරෝනා ප්‍රශ්න එක්ක කල්දාලා තිබුණු වැඩ මේ ටිකේ එක දිගටම කරන්න සිද්ධ වුණා. ඒකයි. 

තවමත් නුවරද පදිංචිය?
නුවර නෙමෙයි, අපි බදුල්ලෙනෙ. නමුත් කොළඹට ඇවිත් කලක් වෙනවා. නුවර හිටියෙ අධ්‍යාපන කටයුතුවලට. 

ගෙවී ගිය ජීවිතයේ සුන්දරම මතකය තියෙන්නෙ කොතැනද?
සුන්දර තැන් බොහෝමයි. ගත කරන සෑම දිනක්ම සතුටින් ගත කරන්නයි මට ඕනෑ. දවස සතුටින් ගත කරන්න, ලස්සන දෙයක් මම හොයා ගන්නවා. විශේෂ වූ මතකයක් ගැන කිව්වොත්, මට මගේ ප්‍රථම උපාධිය ගත්ත දවස මට හරිම විශේෂයි. මම මගේ අම්මා, තාත්තාව සතුටු කරන්න ආසා කෙනෙක්. ඉතින් කුඩා කාලයේ ඉඳලාම මගේ සතුට වුණේ මම කරන දේ දිහා බලලා එයාලා සතුටු වෙන හැටි දැකීමට. මේ නිසා ජීවිතේ සෑම තැනකදීම එයාලා සතුටු වේවිද කියන තැන ගැන හිතලා තමයි මම කටයුතු කරන්නෙ.
ලස්සන දුවක් වගේම, එයාලට ලැබිලා තියෙන්නෙ ගුණයහපත් දරුවෙක්?
ඇත්තටම මට ලැබිලා තියෙන්නෙ පෙර පිනකට ගුණ යහපත් මව්පිය දෙදෙනෙක්. මේ අයගෙ හෙවණේ හැදී වැඩුණු නිසා මාත් සෑම පැත්තකටම යහපත් විදියෙ මනුෂ්‍යයකු ලෙස හැදෙන්න පුළුවන් වුණා.

අම්මා - තාත්තා මොනවද කරන්නෙ?
තාත්තා ඉංජිනේරුවරයෙක්. මගේ අම්මා ඉංග්‍රීසි සහ තාක්‍ෂණ අංශයේ ගුරුවරියක්.

'එමාෂා’ ඉතින් කොහොමද ඔයාගේ ලස්සන ආදරේ?
හැමදාම වගේ මගේ පිටුපස මගේ අම්මා - තාත්තා වගේම සහෝදරයා ඉන්නවා. පවුලේ අය ඉන්නවා. එයාලා එදා ඉඳලාම මට දුන්න ආදරය එක විදියට ලබා දෙනවා. මමත් එහෙමයි. එයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. 

‘ආදරෙන්’ ලිස්සලා යන්න නේද හදන්නෙ?
එහෙම එකක් නැහැ. අහපු ප්‍රශ්නයට මගේ පිළිතුර දුන්නෙ.

එතකොට මෙහෙම ඇහුවොත් කොහොමද. පෙම්වතා කියලා?
ඒ ගැන මම තවම හිතලා නැහැ. විවාහය ගැන තවම හිතලා නැහැ.
‘ආදරය’ කොහොම විය යුතුය කියාද හිතන්නෙ?
මම හිතන්නෙ අවංක පිරිසිදු ආදරයක් විය යුතුයි. සැම තැනකදීම අනෙක් කෙනා වෙනුවෙන් ඉන්න පුළුවන් ආදරයක් ගෞරවයක් තිබිය යුතුයි. ගුණ ධර්ම ඉතා වටිනවා. අධ්‍යාත්මක පැත්තෙන් හොඳ නුවණක් තියෙනවා නම් හොඳයි. අන්තිමට අපි ජීවිතේ අරගෙන යන්නෙ ගුණධර්ම විතරයි. පිං පව් විතරයි. ඒ නිසා යහපතට යොමු කරන කෙනෙක් එක්ක ඒ ගමන ගියොත් ජීවිතය සාර්ථක වේවි.

එමාෂාත් හිතුවක්කාරද?
නැහැ. එමාෂා කියන්නෙ බොහොම කීකරු දරුවෙක්. ඒක මගේ මව්පියන් වගේම ගුරුවරුන් කියන දෙයක්. අම්මා - තාත්තා පාසලට ආවම ගුරුවරු නිතරම මගේ හොඳ කිව්වෙ. ඒ නිසා ඒ දෙන්නා නිතරම සතුටින් ගියේ. ගුරුවරු මට හරි ආදරෙයි.

ඉතින් අපි ‘හිතුවක්කාරි’ චරිතය ගැන කියමු?
‘රන්මිණි’ කියන්නෙ එයාගෙ නම. එයා බොහොම උගත් දක්‍ෂ ගැහැනු ළමයෙක්. හැබැයි හරි අහිංසකයි. දඩබ්බර නැහැ. ඒක නිසා තාත්තාගෙ නීති රීතිවලට යටත් වෙලා කාලයක් තිස්සේ රස්සාවක් නොකර ගෙදරට වෙලා ඉන්නවා. ඊට පස්සෙ යම් තැනකදී ඇය තීරණය කරන්නෙ ඇයට රැකියාවක් කරන්න පුළුවන් කියන දේ ඔප්පු කර පෙන්වීමටයි. ‘රන්මිණි’ට පුද්ගලික අංශයේ අවස්ථා බොහොමයක් තිබුණත් ඒවාට නොයා ඉන්නෙ තාත්තා කැමති රජයේ රැකියාවක් විතරක් කරනවාට නිසා. ඒත් ඇය තාත්තාට ඔප්පු කරලා පෙන්නන්න හිතලා එයා හිතලා කොළඹට එනවා. ඒ විදියට ගියාට පස්සෙ ජීවිතේ මුහුණ දෙන දේවල් ගැන මේ චරිතයෙන් ප්‍රකාශ වෙනවා. ඇය ජීවිතය සොයා යන්න පටන් ගන්නවා. මේක ඇත්තටම ආදර්ශවත් කතාවක්. තිර පිටපත මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ. අධ්‍යක්‍ෂණය ජී. නන්දසේන මහතා. කුෂාන් ටෙලිෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. හිතුවක්කාරි කණ්ඩායම හරිම හොඳයි.
කොහොමද සාරංග?
හිතුවක්කාරී නාට්‍යයේ සාරංග අයියගෙ චරිතය නම තුම්මුල්ලෙ ධනා. එයා එක්ක වැඩ කරන ප්‍රථම අවස්ථාව මෙයයි. එයා හරිම දක්‍ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ ඉඳලම මම ප්‍රිය කළ චරිතයක්. ඒ නිසා මේ නිර්මාණයෙහි ප්‍රධාන චරිතය සාරංග අයියා එක්ක රඟපෑමට ලැබීම වාසනාවක් වගේම ලොකු සතුටක්.

මේ හැර වෙනත් චරිත මොනවද?
විකාශය වීමට නියමිත නිර්මාණ කීපයක්ම තියෙනවා. ඒවා එකිනෙකට වෙනස් වූ චරිත. ඒ නිර්මාණ ගැන ඉදිරියේදී අපි කතා කරමු.

එමාෂාගෙ ඉදිරියටත් ප්‍රධාන වෘත්තිය රඟපෑම විතරද?
රඟපෑම මම හරිම ආසාවෙන් ගෞරවයෙන් කරන දෙයක්. ඒත් තවම වෘත්තිය විදියට හිතලා නැහැ. ව්‍යාපාර පරිපාලනය සහ කළමනාකරණය ගැන හදාරපු නිසා මගේම ව්‍යාපාරයක් දැනට කරගෙන යනවා. මගේම ඇඳුම් ව්‍යාපාරයක් ඊට එක්වීමට නියමිතයි. ඒකෙ නම Hanzy's Clothing.lk මේ ෆොටෝ ෂූට් එකට තෝරා ගත්තෙත් එහි ඇඳුම් නිර්මාණයක්. 

෴ සඳුන් ගමගේ 
උපුටා ගැනීම - සාරවිට
ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom