ජපන් බිලියනපතියා උඩ යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 9, 2021

ජපන් බිලියනපතියා උඩ යයි

ජපන් බිලියනපති යුසාකා මයේසාවා රුසියානු අභ්‍යවකාශ ආයතනය සමඟ එක් වී, සෝයූස් රොකට්ටුවක සහ ගගන කැප්සියුලක ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේය. 

අභ්‍යවකාශ ගමන් බිමන්වලට ඇලුම් කරන තැනැත්තකු බව යුසාකා මයේසාවා මෙසේ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ විනෝද චාරිකාවක් ලෙසය. ඔහු අභ්‍යවකාශ නැවැතුම්පොළේ දින 12 ක් ගත කරනු ඇත්තේ විවිධාකාරයේ ක්‍රියාකාරකම් 100 ක් සඳහා එක් වෙමිනි. බැඩ්මින්ටන් තරගයක් පැවැත්වීමටත් යුසාකා මයේසාවා අපේක්ෂාවෙන් සිටින බව පැවැසෙයි. 

46 හැවිරිදි යුසාකා මයේසාවා බිලියනපතියකු වූයේ 'සොසෝටවුන්' වෙබ් අඩවිය හරහා රෙදි පිළි අලෙවි කිරීමෙනි. නව විලාසිතා හඳුන්වා දීමේ ප්‍රමුඛයකු ලෙස 'සොසෝටවුන්' වෙබ් අඩවිය ලොව ප්‍රසිද්ධියට පත් වී ඇත. 

යුසාකා මයේසාවා සමඟ අභ්‍යවකාශ සවාරියට ඔහුගේ නිෂ්පාදන සහායක ලෙස කටයුතු කරන යෝසෝ හිරානෝ ද එක්වී සිටී. මොවුන් දෙදෙනා සෝයූස් ගගන කැප්සියුලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන ගියේ රුසියන් ගගනගාමී ඇලෙක්සැන්දර් මිසුර්කින්ය. 

කැප්සියුලය රැගත් රොකට්ටුව, කසක්ස්තානයේ බයිකනූර් පිහිටි රුසියන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූයේ ඊයේ (8) රාත්‍රියේය. දැඩි ශීත කාලගුණයක් පැවැතියත්, මයේසාවාට සමුදීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් කණ්ඩායමක් ද බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ සිටි බව මාධ්‍ය වාර්තා කළේය. 

ගුවන්ගත වී පැය 6 ක ගමනකින් පසු රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රුසියාවට අයත් කොටසේ පොයිස්ක් මොඩියුලය සමඟ සම්බන්ධ විය. මේ වනවිටත් අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගගනගාමීහු 7 දෙනෙක් රැඳී සිටිති. ඔවුන්ගෙන් තිදෙනකු රුසියානු ගගනගාමීන් වන අතර එක් අයකු ජපන් ගගනගාමියෙකි. 
මයේසාවා සහ හිරානෝ අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන යෑම පමණක් නොව, ගගනගාමීන් වීමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දුන්නේත් රුසියන් අභ්‍යවකාශ ආයතනයයි. ඒ අනුව, රුසියන් අභ්‍යවකාශ ආයතනය, අභ්‍යවකාශ ගමන් බිමන් සහ අභ්‍යවකාශ කටයුතු පෞද්ගලීකරණය කර තිබේ. 

මීට පෙර, අභ්‍යවකාශයේ රූගත කළ පළමු චිත්‍රපටය සඳහා ද රුසියන් අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී කටයුතු කළේය. මේ වනවිට බිලියනපතියන් ඇමෙරිකන් ජාතික ජෙෆ් බේසෝස්, ඉලොන් මස්ක් සහ බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් බ්‍රැන්සන් ඔවුන්ගේ ගගන සමාගම් හරහා පෞද්ගලික අභ්‍යවකාශ සංචාර අරඹා තිබේ. 

අතමිටසරු ඕනෑ අයකුට ගගනගාමියකු ලෙස පුහුණු වී මෙම ගමන්වලට සහභාගී විය හැකිය. 2023 වසරේ දී ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම සඳ වටා සංචාරකයන් යැවීමට සූදානම් වන අතර, එම ගමනට යුසාකා මයේසාවා ද එක් වනු ඇත. ඒ, තවත් අට දෙනකු ද හවුල් කර ගනිමිනි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom