නොගැලපුණයි සිතුවත් ගැලපුණු ආදරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 10, 2021

නොගැලපුණයි සිතුවත් ගැලපුණු ආදරේ

බොලිවුඩ් සුපිරි නිළි කත්‍රිනා කයිෆ්ගේ සහ ජනප්‍රිය හා චරිතාංග බොලිවුඩ් නළුවෙකු වන විකීප කෞෂාල්ගේ විවාහ මංගලෝත්සවය, ඉන්දියාවේ රාජස්ථානයේ සුප්‍රසිද්ධ මාළිගයකදී හින්දු චාරිත්‍රානුකූලව සිදුවුණු අතර එය බොලිවුඩය උණුසුම් කිරීමට සමත් විය.

බොලිවුඩ් ජනප්‍රිය තරු යුවළක වන මොවුන් දෙන්නාගේ හැංගි හොරා බැදි ආලේ ඕපාදූපත් දැන් හැම තැනම සදහන් වුණත් දෙන්නා ප්‍රේම කරන්න පටන් ගත්ත විදිහ ගැන නම් කවුරුත් තවමත් නොදන්නා තරම්ය. 

බ්‍රිතාන්‍ය ජාතික 38 හැවිරිදි කත්‍රිනා සහ 34 හැවිරිදි විකී කෞෂාල් ගේ විවාහය සිදු වූයේ දෙදෙනා ගේ පවුලේ අය ඇතුළු අමුත්තන් 400 කගේ සහභාගීත්වයෙන්, රාජස්ථාන ප්‍රාන්තටේ මධෝපූර් දිස්ත්‍රික්කයේ බාර්වාරා බලකොටුවේ දීය. ඒ හින්දු චාරිත්‍රානුකූලවය. 

ඉන්දියාවේ ප්‍රවීණ ඇදුම් නිර්මාණ ශීල්පී සබ්බ්‍යසාචි මුඛර්ජි විසින් සුවිශේෂි ලෙස සකස් කළ රතු සහ තැඹිලි පැහැය මුසු ලෙහෙන්ගාවකින් සැරසී සිටි කත්‍රිනා, සැබැවින්ම සුරූපි ඉන්දියානු මනමාලියක වූවාය. වීකී කෞෂාල් ඊටම ගැලපෙන ලෙසින් ක්‍රීම් පැහැති කුර්තාවකින් සැරැසී සිටියේය.

මංගල උත්සවයට ආරක්ෂාව සැපයීමට ප්‍රාන්ත පොලීසිය වෙත විකීගේ පියා විසින් ඉල්ලීම් කළ අතර, විවාහ උත්සවයට එක්වූ සියලුම දෙනාටම ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබුණි.

මංගල ඡායාරූප, ඔවුන් දෙන්නා ඔවුන් දෙදෙනාගේ සමාජ මාධ්‍යවල පළ කරන තෙක් කිසිදු ඡායාරූපයක් පළ නොකිරීමටද ඉන්දීය මාධ්‍ය වගබලා ගැනීම ද විශේෂත්වයකි. පසුගිය 7 වැනිදා දෙදෙනා ගේ ‘සංගීත්’ උත්සවය පැවැත්වුණු අතර, පෙරේදා (8) ‘මෙහෙන්දි’ උත්සවය පැවැත්විණි.

මේ සියලු උත්සව සදහා බ්‍රිතාන්‍යයේ සිටින කත්‍රිනාගේ සහෝදර සහෝදරියන් 6 දෙනා ඇතුළු පවුලේ ඥාතීහු සහභාගී වූහ. අද (10) සහ අනිද්දා (12 ) විවාහ උත්සවයෙන් පසු විශේෂ පිළිගැනීමේ උත්සව පැවැත්වෙයි.

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජො⁣හාර්, සුපිරි නිළි අනුෂ්කා ෂර්මා, නේහා දුහුපියා, ප්‍රීටී සින්ටා, රිතික් රෝෂන්, ෆාරා ඛාන් ඇතුළු තරු රැසක් විවාහයට සුබ පතමින් සමාජ මාධ්‍යයේ සටහන් එක් කර තිබිණි.

2019 කරන් ජොහාර්ගේ 'කොෆී විත් කරන්' වැඩසටහනට පැමිණි කත්‍රිනාගෙන් කරන් ඉදිරියේදී වැඩ කරන්න කැමතිම නළුවා කවුද යැයි ඇසූ පැනයට ඇය විකී යැයි සතුටින් පවසා තිබුණි. ඇය එසේ පවසා තිබුනේ ඔහු ඇයට හොදින් ගැලපෙන නළුවෙකු වේවි යැයි ද කියමිනි. 

පසුව විකී, ආයුෂ්මාන් කුරානා සමඟ ජොහාර්ගේ ප්‍රසංගයට පැමිණි විට කරන් විකීගෙනුත් එම ප්‍රශ්නයම ඇසීය. ඒ අතරම ඔහු කත්‍රිනා පැවසූ දේ විකීට කීවේය.  එහිදී පෙම් හිනාවකුත් සමඟ විකී සතුට වැඩිකමට බොරුවට කලන්තේ දාලා ඇද වැටෙන බවකුත් පෙන්වයි. ඒ, ඊට සතුටින් ප්‍රතිචාර දක්වමිනි. කත්‍රිනා සහ විකීගේ ආදර කතාවේ පළමු හෝඩුවාව ලෙස මෙය සැලකෙයි.

එයින් පසුව, සම්මාන උත්සව සහ බොලිවුඩ් උත්සව කිහිපයකදී ම මේ යුවළ එකට දැකගත හැකි වුව ද, යුවළ ඔවුන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධියේ පිළිගත්තේ නැත. 

එසේ වුවත්, වටින්ගොඩින් ආරංචි වූයේ දෙදෙනාගේ සම්බන්ධයක් ඇති බවය. කෙසේ නමුත්, නිතර නිතර කත්‍රිනාගේ ගෙදර යන විකී ගැන ආරංචි වන පැපරාසී ඡායාරූප ශිල්පීන් දිනක් විකීගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය. එයින් පසු දෙදෙනාගේ ආදර කතාව ප්‍රසිද්ධ කතාවක් බවට පත් විය.

එසේ වුවත් දෙදෙනා මේ ගැන කිසිවක් පැවැසුවේ නැත. දෙන්නගේ වයස් පරතර අවුරුදු 5 කි. ඒ නිසා සහ කත්‍රිනාගේ පෙර වැරදි නිසා, මුළින් ම විකී කෞශාල්ගේ ගෙදරින් සම්බන්ධයට කැමැත්ත ලැබී නැත. විකී සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත්තේ කත්‍රිනා යැයි ද පැවැසෙයි.

විකී කෞශාල් යනු බොලිවුඩයේ සිටින සම්මානලාභී සටන් අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍යාම් කෞශාල් ගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහුගේ බාල පුතු වන සනී කෞශල් ද ඉකුත් දා 'ෂිද්දත්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසුණා පමණක් නොව විචාරකයන්ගේ පවා පැසැසුමට ලක් විය.

෴ තිළිණි ද සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom