ෆ්‍රැන්සිස් පාප්තුමන් ග්‍රීසියේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 5, 2021

ෆ්‍රැන්සිස් පාප්තුමන් ග්‍රීසියේ

සයිප්‍රස් සංචාරය අවසන් කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තෙදින සංචාරයක් සඳහා ග්‍රීසිය බලා පැමිණියේය. අවසන් වරට පාප්තුමකු ග්‍රීසියේ සංචාරයකට පැමිණියේ මීට දශක දෙකකට පෙර යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. 

මේ වනවිට, ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවල් සිය දේශසීමා පාලන ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අනවසර සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමටය. 

සංක්‍රමණිකයන්ගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ශුද්ධෝත්තම පාප්තුමන්ගේ මෙම සංචාරයේ අරමුණ වෙයි. මැදපෙරදිග රටවල ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලනික අර්බුද, ආර්ථික අර්බුද, සිවිල් යුද ගැටුම් ආදිය හේතුවෙන් එම රටවලින් පලා යන පිරිස්, බෝට්ටු මාර්ග ඔස්සේ පැමිණෙන්නේ ග්‍රීසියටය. 

ඊට අමතරව, කතෝලික සහ ඕතඩොක්ස් පල්ලි අතරේ පවතින සබඳතා වර්ධනය කර ගැනීමට පාප්තුමන් බලාපොරොත්තු වෙයි. 1054 වසරේ දී, ක්‍රිස්තියානි ධර්මය බෙදීමකට ලක්වූයේ රෝමානු කතෝලික සහ නැගෙනහිර ඕතඩොක්ස් පල්ලි අතරේය. 

සියවස් ගණනාවක් පුරා පවතින එම බෙදීම අදත් දකින්න ලැබේ. කතෝලික පල්ලිය සහ ඕතඩොක්ස් පල්ලිය අතරේ සබඳතා වර්ධනය කර ගැනීමට පාප්තුමන් ඇතන්ස් සංචාරයේ දී කටයුතු කරනු ඇතැයි වතිකානය කල්තියා පවසා තිබුණි. 

ඇතන්ස් අගනුවර, ඕතඩොක්ස් අගරදගුරු හමුවීමට, අගරදගුරු දේවස්ථානයට පාප්තුමන් පැමිණෙද්දී, සිය ගණනක් ග්‍රීක වැසියෝ පාප්තුමන් දැක ගැනීමට දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටියහ. එම පිරිස අතරේ සිටි එක් වයෝවෘද්ධ ඕතඩොක්ස් පූජකයෙක් පාප්තුමන්ට අපහාස වන අයුරින් කෑ කෝ ගසන්න විය.
පොලිසිය වහා ක්‍රියාත්මක වී එම පූජකයා එතැනින් ඉවත් කළේය. එම දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. එම සිදුවීම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ ඕතඩොක්ස් පල්ලියේ නායක අගරදගුරු අයිරොනිමෝස් සාකච්ඡාවලට බාධාවක් නොවුණු බව පැවැසෙයි. 

2001 වසරේ දී, දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් ග්‍රීසියේ සංචාරයක නියැලුණි. පාප්තුමකු වසර 1,200 කින් පසු ග්‍රීසියට පැමිණි පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි. ෆ්‍රැන්සිස් පාප්තුමන් ග්‍රීසිය බලා ගියේ ඉන්පසුවය. ඒ අනුව පාප්තුමකු ග්‍රීසියට පැමිණියේ වසර 20 කට පසුව යැයි පැවැසෙයි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදුවුණු බව පැවැසෙන ග්‍රීසියේ ඇතන්ස් නුවරට පැමිණි පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට ග්‍රීක ජනපතිනිය සැකලෙනා සැකලෙරොපුලෝ කටයුතු කළාය. ඇතන්ස් අගනුවර සංචාරය අතරතුරේ පාප්තුමන්, ග්‍රීක දේශපාලන හා සංස්කෘතික නායකයන් හමුවේ දේශනයක් පැවැත්වීය. ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ පාප්තුමන් අතරේ ද කෙටි හමුවක් පැවැත්විණි. 
නීතිවිරෝධී සංක්‍රමණිකයන් ප්‍රතික්ෂේප නොකරන්නැයි පාප්තුමන් එම දේශන අතරතුරේ ඉල්ලීමක් කළේය. පාරිසරික අර්බුද ගැනත් 'කොවිඩ් 19' ගෝලීය වසංගතය ගැනත් පාප්තුමන් සිය දේශනයේ දී අවධානය යොමු කළේය. අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ සියලු පාර්ශ්ව එක්වීමෙන් යැයි ද පාප්තුමන් අවධාරණය කළේය. 

 දිවි පරදුවට තබා, බෝට්ටුවලින් යුරෝපයට පැමිණෙද්දී අත්අඩංගුවට ගැනෙන සංක්‍රමණිකයන් රඳවා තැබෙන්නේ ඊජියන් මුහුදේ ලෙස්බොස් දූපතේය. පාප්තුමන් අද (5) මෙම දූපතේ ඇති සංක්‍රමණික කඳවුරට ගොස් එහි රඳවා සිටින පිරිස් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට සූදානමින් සිටියේය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom