
කාණ්ඩ 5 අතරින්, පළමු කාණ්ඩය ARBs (Angiotensin Receptor Blockers) ය. Losartan, Telmisartan, Valsartan, Candesartan යනු එම කාණ්ඩයේ ඖෂධ ය. රුධිර නාළ හිර කරන හෝමෝනයක් වන Angiotensin II ක්‍රියාත්මක වන දොරටු (Receptors) අවහිර කර, රුධිර නාළ මනාව පළල් කර ලිහිල් කිරීම මේවායින් සිදුවෙයි. වකුගඩු සහ හදවත ආරක්ෂා කරයි. දියවැඩියාව ඇති අයට සහ තරුණ අයට ඉතා සුදුසුය. අතුරු ආබාධ අවම, ඉතා ආරක්ෂිත ඖෂධයක් බව වෛද්‍ය පිළිගැනීමය.
දෙවැනි කාණ්ඩය, ACE Inhibitors (ACEi) ය. Enalapril, Ramipril, Lisinopril ය. රුධිර නාළ හිර කරන හෝමෝන නිපදවන එන්සයිමය අවහිර කරයි. හෘදයාබාධවලින් පසු හෘද පේශි ආරක්ෂා කිරීමට සහ දියවැඩියා රෝගීන්ගේ වකුගඩු පෙරහන් ආරක්ෂා කිරීමට මේවා යෝග්‍ය වෙයි.
තෙවැනි කාණ්ඩය Calcium Channel Blockers (CCBs) ය. Amlodipine, Nifedipine, Diltiazem මීට උදාහරණ වෙයි. රුධිර නාළ බිත්තිවල ඇති සෛල තුළට කැල්සියම් ඇතුළු වීම වළක්වා, නාළවල මාංශපේශී ලිහිල් කර පීඩනය අඩු කිරීම සිදු කරයි.
සිවුවැනි කාණ්ඩය Thiazide-like Diuretics (මුත්‍ර කාරක පෙති) ය. Indapamide, Hydrochlorothiazide (HCTZ), Chlorthalidone මීට උදාහරණ වෙයි. වකුගඩු හරහා සිරුරේ ඇති අතිරික්ත ලුණු (Sodium) සහ ජලය මුත්‍රා මගින් බැහැර කර රුධිර නාළවල ඇති පීඩනය සැහැල්ලු කරයි. බොහෝවිට Losartan හෝ Enalapril සමඟ එකම පෙත්තේ සංයෝගයක් ලෙස ලබා දීම සිදුවෙයි.
රුධිරයේ පොටෑසියම් හෝ සෝඩියම් අගය සුළු වශයෙන් වෙනස් විය හැකි බැවින් විටින් විට රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙයි.
පස්වැනි කාණ්ඩය Beta-Blockers (හෘද ස්පන්දනය පාලනය කරන පෙති) ය. Bisoprolol, Atenolol, Metoprolol, Carvedilol, Nebivolol යනු මෙම කාණ්ඩයේ ඖෂධය. හදවත ගැහෙන වේගය සහ හදවත පොම්ප කරන ශක්තිය මඳක් සන්සුන් කර රුධිර පීඩනය පාලනය කරයි. අධි රුධිර පීඩනය වැඩි අයට වඩා, හෘදයාබාධ හැදුණු අයට, හෘද ස්පන්දනය වේගවත් අයට, හෘදය දුර්වල අයට මේවා නිර්දේශ කෙරේ.
Medical Science ඇසුරිනි