ඇමෙරිකන් සෙබළු 3,000 ක් යුරෝපයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 3, 2022

ඇමෙරිකන් සෙබළු 3,000 ක් යුරෝපයට

නැගෙනහිර යුරෝපා රටවලට ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් අණ කළේය. ඒ අනුව, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින යුද උණුසුම තවත් ඉහළ ගියේය. 

ඉදිරි දින කීපයක ඇතුළත ඇමෙරිකන් සොල්දාදුවන් යැවීමට නියමිතව ඇත්තේ නැගෙනහිර යුරෝපා රටවල් වන ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාවට යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, ජනාධිපති බයිඩන් මෙසේ සොල්දාදුවන් නැගෙනහිර යුරෝපා රටවලට යැවීමට තීරණය කළේ පවතින ‘ආරක්ෂක වාතාවරණය’ සැලකිල්ලට ගනිමින් බවය. 

ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, ජර්මනියට යැවෙන ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 1,000 කි. ඉතිරි සොල්දාදුවන් ද 1,000 බැගින් පෝලන්තයටත්, රොමේනියාවටත් යැවෙනු ඇත. ඇමෙරිකාව පමණක් නොව, ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාව ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සාමාජික රටවල්ය. 

ඇමෙරිකන් හමුදා කඳවුරු මෙම රටවල ඇත. යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත්තේ ද යුක්රේනය ‘නේටෝ’ සංවිධානයට හිතවත් ආකාරයට කටයුතු කිරීම සහ එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීම නිසාය. 

ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැනීම සිදුවූයේ ද රුසියාවෙන් එල්ල වන තර්ජන සහ අභියෝග පිටුදැකීමේ අරමුණ ඇතිවය. පැරැණි සෝවියට් දේශයට අයත් යුක්රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටී. 

යුක්රේනය, නේටෝ සාමාජිකයකු නොවන, නේටෝ සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන, නේටෝ සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටින රටකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි මාස කීපයක පටන් රුසියන් සොල්දාදුවන් දස දහස් ගණනක් යුද්ධයකට සූදානමින් යුක්රේන රුසියා දේශසීමාවේ රැඳී සිටින්නේ යුක්රේනය නේටෝ සංවිධානය සමඟ කටයුතු කිරීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවිනි. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බවත්, යුක්රේනයට සහාය පළ කිරීමක් වශයෙන් ජර්මනියට, පෝලන්තයට සහ රොමේනියාවට හමුදා යැවීම සිදු කරන බවත්ය. 

මේ අතර, රුසියානු ජනාපධිති පුටින් පවසා ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාවේ කිසිදු අදහසක් නොමැති නමුත්, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව යුද්ධයකට පොළොඹවා ගන්න ඇමෙරිකාව උත්සාහ ගන්නා බවය. 

යුක්රේනය සහ නේටෝ සංවිධානය අතර සබඳතා වහා නැවැත්වුවහොත්, යුක්රේන රුසියා දේශසීමාවේ රඳවා සිටින සොල්දාදුවන් ඉවත් කර ගන්නා බව රුසියන් ජනාධිපති පුටින් දිගින් දිගටම පවසා ඇති නමුත් ඇමෙරිකාව ඊට විරෝධය පළ කර ඇත.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom