2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 19, 2022

2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට

'කොවිඩ් 19' වසංගතය හරස් වීමෙන් ප්‍රමාද වුණු 2021 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින්, පුටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ සැන් යුවාන් නගරයේ 'කොකා කෝලා සංගීත ශාලාවේදී පැවැත්විණි. මෙය 70 වැනි ලෝක රූ රැජින තරගාවලියයි. 

රටවල් 97 ක් නියෝජනය කරමින් සුරූපිනියන් තරගාවලියට ඉදිරිපත් වූ අතර, ඔවුන් සියලු දෙනා අභිබවා යමින්, 2021 ලෝක රූ රැජින කිරුළ පැලැඳියේ පෝලන්තය නියෝජනය කළ 23 හැවිරිදි කැරොලිනා බියෙලව්ස්කා ය. 

කැරොලිනා ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තේ අවසන් වටයේදී ඇමෙරිකා එක්සත් ජනපදය, අයිවරි කෝස්ට් ඉන්දුනීසියාව, මෙක්සිකෝව, උතුරු අයර්ලන්තය යන රටවල් හය නියෝජනය කළ සුරූපිනියන් පරාජය කරමිනි. 
තරගාවලියේ දෙවැනි ස්ථානය ඇමෙරිකාව නියෝජනය කළ සුරූපිනිය ශ්‍රී ශ්‍රී සයිනි ට හිමිවුණු අතර තෙවැනි ස්ථානයට පත් වූයේ අයිවරි කෝස්ට් රාජ්‍යය නියෝජනය කරමින් තරගයට එක් වුණු සුරූපිනිය ඔලිවියා යාස් ය. 

කැරොලිනා, කිරුළු පැලැඳියේ 2019 වසරේ ලෝක රූ රැජින වූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං අතිනි. පේලන්තයට ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට හැකිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර පෝලන්තය ලෝක රූ රැජින කිරැළ දිනුවේ 1989 වසරේදීය. එදා ලෝක රූ රැජින වූයේ ඇනෙටා ක්‍රෙග්ලික්කාය. 

කැරොලිනා උපත ලබා ඇත්තේ 1999 අප්‍රේල් 11 වැනිදා පෝලන්තයේ ලොඩ්ස් නගරයේය. කැරොලිනා නිරූපිකාවක ලෙස රැකියාව කරන තැනැත්තියකි. කැරොලිනා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. ඇය දක්ෂ කිමිදුම්කාරියකි.

කැරොලිනා 2019 දී පෝලන්ත සුරූපිනිය ලෙස කිරැළු පැලැදි අතර, ඇය 2021 ලෝක රූ රැජින කිරැළ වෙනුවෙන් පෝලන්තය නියෝජනය කළේ ඉන්පසුවය. 

පෝලන්තය යනු යුක්රේනයේ අසල්වැසියෙකි. කැරොලිනා කිරුළු පැලැඳීමට පෙර සිටම, පෝලන්තය සම්බන්ධයෙන් අපට පුවත් අසන්න ලැබුණේ රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු යුක්රේන වැසියන් දහස් ගණනින් පලා යෑමට පටන් ගත්තේ පෝලන්තයට වීම නිසාය. 

ගැටුම් හේතුවෙන් පණ බේරා ගනිමින්, තම රටට ඇතුළු වුණු සියලුම යුක්රේන වැසියන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම සිදු කරනවා යැයි පෝලන්ත රජය පවසා තිබුණි. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලෝක රූ රැජින තරගාවලියේ ද අවදානය යොමු විය. 

2021 ලෝක රූ රැජින තරගාවලියට යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වූ සුරූපිනිය ඔලෙක්සැන්ද්‍රා කුෂරෙන්කෝ ය. අවසන් වටයට සුදුසුකම් නොලැබුණු බැවින් ඇය පුටෝ රීකෝ පැවැති අවසන් තරගයට සහභාගී වූයේ නැත. ඇය යුක්රේනයේ කීව් අගනුවර සිටින බව ලෝක රූ රැජින තරගාවලිය පවත්වන රූ රැජින තේරීමේ සංවිධානයේ ප්‍රධානී ජුලියා මෝර්ලී පවසා තිබේ.

2021 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලැඳීමට පෙරත්, කිරැළු පැලඳී‌මෙන් පසුවත්, යුක්රේන වැසියන් වෙනුවෙන් හඩ නැගීමට කැරොලිනා කටයුතු කළ අතර, එය බටහිර මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගත් බව ද කිව යුතුය. 

ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2021 දෙසැම්බරයේය. අවසන් තරගයට ඔන්න මෙන්න කියා තිබියදී, ඊට සහභාගී වුණු සුරූපිනියන් 97 දෙනාගෙන් 23 දෙනකු පමණක් නොව, තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ බොහෝ දෙනකු ද 'කොවිඩ් 19' ආසාදිතයන් වීමත් සමඟ තරගාවලිය වහා නැවැත්වීමට සිදු විය. 

මාස තුනක ප්‍රමාදයකින් පසු පසුගිය මාර්තු 16 වැනිදා සැන් යුවාන් කොකා කෝලා සංගීත ශාලාවේ අවසන් තරගය පැවැත්වෙද්දී ඊට සහභාගී කරවා ගැනුනේ අවසන් වටයට තේරී සිටි සුරූපිනියන් 40 දෙනා පමණි. එම 40 දෙනා අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ සාදී ග්‍රීන්වුඩ් ද සිටින්නීය. 

 මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් වූ ඇමෙරිකන් සුරූපිනිය ශ්‍රී සයිනි ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. 2021 ලෝක රූ රැජින නොවුණත්, ශ්‍රී සයිනි ගැන ද මාධ්‍ය අවධානය යොමු වී තිබේ. ඇය උපත ලබා ඇත්තේ පන්ජාබයේ ලුදියානා දිස්ත්‍රික්කයේය. ශ්‍රී සයිනි සහ ඇගේ පවුලේ අය ඇමෙරිකාවේ වොෂින්ටනයේ පදිංචියට පැමිණ ඇත්තේ අවුරුදු පහේදීය. ශ්‍රී සයිනි දුර්ලභ හෘද රෝගයකින් පෙළෙන තැනැත්තියකි. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom