ඔබේ නමත් සඳට යවන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 21, 2022

ඔබේ නමත් සඳට යවන්න

අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන සැමට හරි අපූරු පුවතක් ගැන කියන්නයි මේ සූදානම. අභ්‍යවකාශයට යෑම හෝ සඳට යෑම හෝ අප බොහෝ දෙනකුට කිසි දිනෙක සැබෑ නොවන සිහිනයක් පමණි. වසර 50 කට පසු යළිත් සඳ තරණයට සූදානම් වන ඇමෙරිකාවේ නාසා ආයතනය, නොමිලේ ඔබේ 'නම' සඳ වටා රැගෙන යෑමට සූදානම් වෙයි. අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන තරුණ මහලු ඕනෑම කෙනකුට මෙය හරි අපූරු අවස්ථාවක් වනු නිසැකය. හැබැවින් සඳට යන්න බැරි නම්; නමින් පමණක් සඳට ගියා යැයි කීමට ලැබීම සතුටක් නොවේද? 

 පනස් වසරකට පසු නාසා ආයතනය යළි ගගනගාමීන් සඳට යැවීමට සූදානම් වන්නේ 'ආටිමීස්' මෙහෙයුම යටතේය. ග්‍රීක මිත්‍යා අනුව, 'ආටිමීස්' යනු 'ඇපලෝ' දෙවියන්ගේ නිවුන් සහෝදරියයි. නාසා ආයතනය මීට වසර 50 කට පෙර සඳට ගගනගාමීන් යැවූ මෙහෙයුම් නම් කෙරුණේ 'ඇපලෝ' යනුවෙනි. 

නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තැබූ පළමු මිනිසා වෙමින්; 'මෙය මිනිසකුට පුංචි පියවරක්; ඒත් මිනිස් වර්ගයාට ලොකු පිම්මක්' යැයි කීවේ 'ඇපලෝ 11' මෙහෙයුම සාර්ථක වූ බැවිනි. නාසා පළමු චන්ද්‍ර මෙහෙයුම 'ඇපලෝ' වුවත් 'ඇපලෝ' යනු හිරු දෙවියාය. ඇපලෝගේ නිවුන් සොහොයුරිය සඳට අධිපති දෙවඟනය. නාසා ආයතනය යළි ආරම්භ කරන චන්ද්‍ර මෙහෙයුම් හැඳින්වෙන්නේ 'ආටිමීස්' යන නමිනි.
'ආටිමීස්' මෙහෙයුම් මාලාවේ පළමු සහ දෙවැනි මෙහෙයුම් පුහුණු මෙහෙයුම්ය‍. ගගනගාමීන්ට අනතුරක් නොවී ආරක්ෂිතව සඳට ගෙන යෑම සහ ආපසු ගෙන ඒම කළ යුතු බැවින්, සියල්ල නිවැරදිව සිදුවිය යුතුය. කිසිදු වැරදීමකට ඉඩක් නැත. නාසා ආයතනය කියයි. 'ආටිමීස් 1' මෙහෙයුම මිනිසුන් රහිත පුහුණු මෙහෙයුමකි. නාසා ආයතනය නිපදවා ඇති, ප්‍රබල SLS - Space Launch System ස්පේස් ලෝන්ච් සිස්ටම් රොකට්ටුවේ ආධාරයෙන් සඳට යන්නේත් ආපසු එන්නේත් 'ඔරයන්' Orion ගගන කැප්සියුලයයි. 

ඔබේ නම සඳ වටා යැවීමට නම්, ඔබ කළ යුතු වන්නේ, නාසා ආයතනයේ https://www.nasa.gov/send-your-name-with-artemis වෙබ් අඩවිය හා සම්බන්ධ වී එම වෙබ් අඩවියේ ඇති පෝරමය පිරවීම පමණි. එවිට නාසා ආයතනය ඔබේ නම සඳහන් Boarding Pass අවසර පත්‍රය හිමිවෙයි. ඒ, 'ඔරයන්' කැප්සියුලයට 'ඔබට ගොඩවීමට අවසර දුන්නා' යන අදහසිනි. ඒක හරියට ගුවන් යානයකට ගොඩවීමේ දී ලබා දෙන Boarding Pass අවසර පත්‍රයකට සමාන වෙයි. 
'නාසා' වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී, ඔබ ඇතුළත් කරන ඔබේ නම, 'ආටිමීස් 1' මෙහෙයුමට සම්බන්ධ 'ඔරයන්' කැප්සියුලයේ ෆ්ලෑෂ් ඩ්‍රයිවරයට Flash drive ඇතුළු කෙරේ. නම සඳ වටා යනු ඇත්තේ ඒ අයුරිනි. 1969 ජූලි 20 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳ මත පය තැබීම ලොව එදා මෙදා සිදුවුණු විශිෂ්ටතම වික්‍රමයයි. 

මිනිසා පෘථිවියෙන් ඔබ්බට යමින්, වෙනත් ග්‍රහ වස්තුවක් මත පය තැබූ අවස්ථාව එයයි. එය සැබැවින්ම අසමසම වික්‍රමයකි. 'ඇපලෝ 17' අවසන් චන්ද්‍ර මෙහෙයුම වූ අතර, එය සිදුවූයේ 1972 වසරේදීය. ඉන්පසු ඇමෙරිකාවේ නාසා ආයතනය හෝ වෙනත් රටක අභ්‍යවකාශ ආයතනයක් හෝ මිනිසකු සඳට යවා නැත. නාසා ආයතනය සඳට ගගනගාමීන් යැවීම නවතා දැමුවේ එය අධික වියදමක් නිසාය. 

යළි මිනිසා සඳට යා යුතු බවත් අභ්‍යවකාශ කටයුතු ජය ගැනීම කළ යුතු බවත් පෙන්වා දෙමින්, නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කිරීමට පුරෝගාමියා ලෙස කටයුතු කළේ හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. 

නාසා ආයතනය 'ආටිමීස්' චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් කළේ ඒ අනුවය. පළමු පුහුණු මෙහෙයුම 'ආටිමිස් 1' මගින් සිදුවන්නේ ගගනගාමීන් නොමැති 'ඔරයන්' ගගන කැප්සියුලය සඳ වටා ගොස් ආපසු පැමිණීම පමණි. 

SLS රොකට්ටුව ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරෙන 'ඔරයන්' කැප්සියුලය රොකට්ටුවෙන් වෙන්වී සති 3 ක් අභ්‍යවකාශයේ ගත කරන බවත්, එයින් දින 6 ක් සඳුගේ ඉහළ කක්ෂයක රැඳී සිටිනු ඇති බවත් නාසා කියයි. ඉන්පසු විද්‍යාඥයන් කැප්සියුලය ආපසු ගෙන්වා ගැනීම සිදු කරන අතර, කැප්සියුලය පෘථිවියට ගොඩබෑම සිදුවන්නේ පැරෂූට් ආධාරයෙනි. 

සුපුරුදු පරිදි එය මුහුදට පතිත වන අතර ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනු ඇත. 'ඔරයන්' යනු යළි යළි භාවිතයට ගැනීමට හැකි ආකාරයේ කැප්සියුලයකි.

'ආටිමීස් 1' සාර්ථක වීමෙන් පසු 'ආටිමීස් 2' පුහුණු මෙහෙයුම යටතේ 'ඔරයන්' ගගන කැප්සියුලය සඳට ගොඩබෑම සිදුවනු ඇතැයි නාසා කියයි. සඳට ගොඩබසින කැප්සියුලය ආපසු පෘථිවියට ගෙන්වා ගැනෙයි.

ගගනගාමීන් සමඟ 'ඔරයන්' ගගන කැප්සියුලය සඳට යැවීම සිදුවනු ඇත්තේ 2025 වසරේ හෝ 2026 වසරේදී යැයි නාසා ආයතනය නිවේදනය කර තිබේ. එම මෙහෙයුම 'ආටිමීස් 3' වනු ඇත.

෴ ස්තුතිය - NASA

Classified_Ad

Classified_Ad_News_Bottom