පෘථිවියේ සිටිද්දී අප සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටරයක් හෝ පානය කරයි. නිරෝගීව සිටීමට නම් එසේ කළ යුතුය. අභ්‍යවකාශයේදී දිනකට පානය කළ යුතු ජලය ලීටර් ප්‍රමාණය ඊට වැඩිය. ගගනගාමීන් කිහිප දෙනකුට දින 1,000 ක් තිස්සේ අඟහරු වෙත ගගන චාරිකාවක යෙදෙනවා නම්, ජලය ලීටර් 55,000 ක් අවශ්‍ය වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ගගනගාමින්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර පමණක් නොව බීමට ජලය ද පටවාගෙන යෑම අධික වියදමකි. එපමණක් නොව, එවැනි ලොකු බරක් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් නිපදවීම ද ගැටලුවකි. බර වැඩි වෙද්දී, ඉන්ධන භාවිතය වැඩි වෙයි. ගගනගාමීන් පානය කරන ජල ප්‍රමාණය අඩු කළොත් එය සහනයකි.
ඊට අපූරු විසඳුමක් නාසා විද්‍යාඥයන් ඉදිරිපත් කර තිබේ. ඒ, ජලය වෙනුවට, මුත්‍ර පානය කරමින් අඟහරු යෑමය.
දිනපතා ඔබ ලීටරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුත්‍ර පිට කරයි. එය සාමාන්‍ය ක්‍රියාවලියකි. බීමට ජල පොදක් නැති වුවත් අප මුත්‍ර බීමට යොමු වන්නේ නැහැ.
ඒත් අඟහරු යන නාසා ගගනගාමීන්ට මුත්‍ර පානය කිරීමට සිදුවේවි. 'ඊයා' කීමට අවශ්‍ය නැත. ගගනගාමීන් ඔවුන් පිට කරන මුත්‍ර කෙළින්ම බීමට ගන්නේ නැහැ. මුත්‍ර පානය සිදුවන්නේ මුත්‍ර ඉතා හොඳින් පෙරා පිරිසුදු කිරීමෙන් පසුවය. සුවඳක් හෝ රසක් ඇත්තේ නැත. ඒ නිසා මුත්‍ර බොනවා යැයි හැඟීමක් දැන්නේ ද නැත.
මේ වනවිටත් නාසා විද්‍යාඥයන්, මුත්‍ර පෙරා පිරිසුදු කිරීමේ නව පද්ධති කීපයක් නිර්මාණය කර තිබේ. එම නව පද්ධති අත්හදා බැලීම සිදු කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේදීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ නොයෙක් නොයෙක් කටයුතු සඳහා භාවිතයට ගන්නා ජලය ද පිරිසුදු කිරීමෙහ් පද්ධතියක් ද වෙනම පිහිටුවා ඇත. මෙම පද්ධතිය අභ්‍යවකාශ නැවැතුම්පොළට එක් කෙරුණේ 2008 වසරේදීය.
මෙම පද්ධතිය හරහා මුත්‍ර පෙරීමක් සිදු නොවෙයි. මුත්‍ර පෙරා පිරිසුදු කර එය බීමට ගත හැකි ලෙස සකස් කරන නව පද්ධති නිර්මාණය සිදුවූයේ එහි දිගුවක් ලෙස යැයි කීවොත් එය නිවැරදිය.
ඉදිරි සියවසේ දී මිනිසා ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රධානතම අභියෝගය වනු ඇත්තේ අඟහරු යෑමය.
අඟහරු මෙහෙයුමක් සඳහා මේ වනවිට අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ලොව ප්‍රධාන රටවල් සියල්ලම පාහේ මේ වනවිට පිඹුරුපත් කසක් කරමින් සිටී. රුසියාව පවා යුරෝලා අභ්‍යවකාශ ආයතනය සමඟ එක් වී අඟහරු යෑමට සැලැසුම් සකස් කර තිබුණි. කෙසේ නමුත් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කරමින් හටගත් යුද්ධය හේතුවෙන් යුරෝපා බටහිර රටවල් සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු විය. ඒ ඇනුව, අඟහරු ගමනට ද බාධා එල්ල විය.
කෙසේ නමුත්, අඟහරු යෑමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවත්, එය ලොකු ජීවිත අවදානමක් බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පැහැදිලි කරයි. අඟහරු ගමනකට එක්වන ගගනගාමීන් ලියුකේමියා රෝගීන් වීමේ අවධානය ඉතා වැඩි යැයි නාසා විද්‍යාඥයන් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වීම මීට හේතුවය. අඟහරු යෑමට වසර දෙක තුනක් ගත වෙන අතර, එය සැතපුම් මිලියන 140 ක දීර්ග ගමනකි.
එම ගමනේදී අඟහරු යන ගගනගාමීන් විකිරණවලට නිරාවරණය වෙයි. විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ මීයන් යොදා ගනිමින් කළ පරීක්ෂණවලදීය. අභ්‍යවකාශයේදී නිරාවරණය වන ආකාරයේ විකිරණ ප්‍රමාණයකට මෙම මීයන් ද ලක් කරමින් විද්‍යාඥයෝ පරීක්ෂණ සිදු කළහ. ඒ අනුව, ලේ විෂ වී, මීයන්ගේ සිරුරේ පිළිකා සෛල සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. ඒ සති දෙකක් ඇතුළතදීය.
මීයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද දරුණු ලෙස හානි සිදුවී ඇති අතර ඔවුන්ගේ සිරුරු දුර්වල වී තිබේ.
අඟහරු යෑම පමණක් නොව, කෙසේ හෝ අඟහරු ගියාට පසු ගගනගාමීන් අඳින ඇඳුම මොකක්ද යන්නත් ප්‍රශ්නයකි. වර්තමානයේ ගගනගාමීන් පලඳින ගගනගාමී ඇඳුම් කට්ටල අඟහරු ලොවට යන්න ප්‍රමාණවත් නොවෙයි. සඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රීන් ඇඳපු ගගනගාමී ඇඳුම් කට්ටල අඟහරු ග්‍රහයාට ගැළපෙන්නේ ද නැත.
2024 දී 'ආටිමිස්' චන්ද්‍ර මෙහෙයුමට අදාලය ගගනගාමීන් සහ ගගනගාමිනියන් සඳහා දැනටමත් නව ගගන ඇඳුම් කට්ටල නිර්මාණය කෙට හමාරය. ඒවා අත්හදා බැලීම ඉදිරියේ දී සිදුවෙයි. ප්‍රථම වරට අඟහරුගේ රතු පස මත පා තබා ඉතිහාසගත වන ගගනගාමීන් කිහිප දෙනා පලඳිනු ඇත්තේ නාසා ආයතනය හා සම්බන්ධව කටයුතු කරන ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන දේවා නිව්මන් නිර්මාණය කළ ‘බයෝ සූට්’ ඇඳුම් කට්ටලය වැනි ඇඳුමක් යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
දේවා නිව්මන්, නිර්මාණය කළ 'බයෝ සූට්' අඟහරු ඇඳුම් කට්ටලය කුඩා මුත්‍ර පෙරණ පද්ධතියක් සවි වනු ඇත. එවිට 'බයෝ සූට්' ඇඳුම පැලඳ සිටිද්දී මුත්‍ර පිට කළ විට එය පෙරීමක් සිදුවෙයි. ඉන්පසු 'බයෝ සූට්' ඇඳුම හරහා ගගනගාමියාගේ හෙල්මට්ටුවට සම්බන්ධ පුංචි බටයකින් පෙරා ගන්නා ලද ජලය පානය කිරීමට ද හැකිවෙයි. මෙය චක්‍රයක් ලෙස සිදු කළ හැකි බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අඟහරු ග්‍රහයාට මිනිසුන් රැගෙන යන යානය, එසේත් නැතිනම් ෂටලය අදියර දෙකකින් ගොඩබෑම සිදු කිරීමට නාසා විද්‍යාඥයන් කටයුතු කරනු ඇත. පළමු අදියරේ දී යානය ස්වයංක්‍රීයව පැයට කිලෝ මීටර් 1,600 ක් තෙක් වේගය අඩු වනු ඇත. එසේ කරන්නේ, ප්‍රතිවිරුද්ධ අතට යානයේ ඇති කුඩා රොකට්ටු දල්වා තෙරපුමක් ඇති කිරීම මගිනි.
මෙම අදහස ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කැලිෆෝනියාවේ පැසදේනා හි නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණ ආයතනයේ ඉංජිනේරු රොබ් මෑනිං විසිනි. ‘ඔපර්චුනිටි’ සහ ‘ස්පිරිට්’ වැනි නාසා රොබෝ යානා සාර්ථකව අඟහරු මත පතිත කිරීමට සලස්වා ඇත්තේ ද රොබ් මෑනිං ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමය.
෴ උපුටා ගැනීම Daily Mail