![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv44YRQ-58WwlhfWPEothUv2jPdGPo0fFzraSpf6yDVovIYyCpSZzKd6_2Su2bn6FQx4gu3gqN1nifRDy3E764Wim1mMYXCI9aUHkGPuKgNDmubOgSWMyrQ4nSlRQyVSFK17KOgbBkwn5KdobJyhPJyNIe53Q6qD1XQFsyqBTS2JDlGHjNnPZMPdg5jg/s16000/maxresdefault.jpg)
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය, ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ මේ දිනවල ලොව පුරා පමණක් නොවෙයි, අප රටේ ද සිනමාහල්වල දකින්න ලැබේ. අවුරුදු මිලියන 66 කට පෙර අතීතයේ මිහිමත රජ කළ බිහිසුණු ඩයිනසෝරයන් ගැන අපගේ කුතුහලය අවුස්සමින්, ඒ ඩයිනසෝරයන් ගැන උනන්දුවක් ඇති කිරීමට ‘ජුරාසික් වර්ල්ඩ්’ පමණක් නොව, ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට පෙළේ ආරම්භය වූ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපට ත්‍රිත්වය ද සමත් විය. පෙර චිත්‍රපටවල දකින්න නොලැබුණු, ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ පමණක් දකින්න ලැබෙන ඩයිනසෝරයන් තිදෙනකු ගැනයි මේ සටහන.
ටී රෙක්ස්, රැප්ටරයන් ඇතුළු අනෙක් ඩයිනසෝරයන් සේම, මෙම ඩයිනසෝරයන් තිදෙනා ද රිදී තිරයේ පණ ලැබුවේ පොසිල විද්‍යාඥයන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී සොයා ගත් සැබෑ පොසිල සාක්ෂි පාදක කර ගනිමිනි. මෙම ඩයිනසෝරයන් තිදෙනාගෙන් එකෙකු ශාකභක්ෂකයෙකි. නමුත් ඌට ඇත්තේ බිහිසුණු පෙනුමකි. දෙවැනියා අමුතු විදියේ රැප්ටරයෙකි. වර්ණවත් පිහාටුවලින් සමන්විත සිරුරක් ඇති මේ රැප්ටරයා කිමිඳීමට හපනෙකි. තුන්වැනියා යෝධයෙකි. ලොව එදා මෙදා පහළ වුණු විශාලතම මාංශභක්ෂකයා මේ ඩයිනසෝරයාය. මේ ඔවුන්ගේ කතාවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE85DG75vpYb_pplBq16cgHDBH4ctFACRzGPaRwkaTVfOdureFQJx29stS531C23aom7zw73D_cwmBpM-futneP7pGZRlwLfFt5cpJLjc2AYyPGaSh3m_qxD3qGg3ouKMIH6CQiQhADoERh5_qozOFuGychfE5CiR82OS09ViYeQ0L-ps1kotih8Flcg/s16000/Therizinosaurus%2001.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq73APAHa6FKt6odkSeM-MTwmhFAdS3pvUTpQypMnQj5vLe8treBajX9ov6bKIsFuSFu3np708CiMy9VStSCUVDWpOngPBJOd5F99R2WIOp1cvEiAyDptdNoLQrvVlKulgcnEOVXpMhcGyz8hw18_LDgk-uAINaY2mdWJCd1YGc_SaljREwHcgJfS3ng/s16000/Therizinosaurus%2002.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihq0LO43dTIU-opeCUhgcrmYh6yxMGMRegLXBcepE-v4p6LTEmFLSoDNvP5Qnxu0dJ2utkOj91Wmfg-7kaScrfSW6xa6RdXp219_hOxssVOvGwZpi9ZY3YrSS10i2B5ArBOim-KWmri1wlzJKyjMMYlhTtOBYOzMiZYrtZnrqsQXBpUuCjykdocH7DWw/s16000/Therizinosaurus-03.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSR5M2uptMPA11J7ex2j3s8vEEU3C_9zKhDY12tk4bJYJ4hrHFxtsRNkKlP76JJmlkE8c2fLwC7W_Aw3JZhXU1dhjdT1-gmU-8eg74biAIw7S5ccLRo1erAAtyGYqG1Ak5qLwALyCgrdYRZSf9XwYHh7JvelE-a17BrkuPyfLg7xZm8iQdn0WrvavZxQ/s16000/Pyroraptor-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0rZs4uZWlso9zul_30Ch40XvxlWWaqs6HY40UE2NHdoWJ9DOdFpHcdB1tDN3BstKAXNknp255M1DEybSeda2yzGPWJFsycAKlqTEKRSScNnUPR-TRa5X6AOu-GZmqElUyDlzY6CGZNXTwYK-u9QTbnZP02K5xxJzkRyb291fBXe2hRiTtLOJdVL4e6Q/s16000/Pyroraptor-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT2TZ2EhkbLquxAdIb40XFIFTBPN9zaxtafNJz9c0tNX8JTW6GY603B4tbAZWEM2WEs4WKGm7Y1DFzFWCtKNXxlIz3gAIOj-UBO-uB-j2l_T2Yj4DoHQR-PwccXANJz_QJw23phRiDdwZtQoqe-wWVvV96Qxcc9gEOPR9P0yoKXGTQoXuOzYSpL_6k0g/s16000/Giganotosaurus-01.jpg)
තෙරිසිනෝසෝරස්
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ කැපී පෙනෙන ඩයිනසෝරයකු ලෙස ‘තෙරිසිනෝසෝරස්’ හඳුන්වා දිය හැකිය. ඒ, මේ සත්වයාගේ අමුතු පෙනුම නිසාය. බිහිසුණු මාංශභක්ෂක ඩයිනසෝරයකුගේ පෙනුමක් තිබුණත්, ‘තෙරිසිනෝසෝරස්’ ශාක භක්ෂක ඩයිනසෝරයෙකි. ශාක භක්ෂකයකු නිසා මේ ඩයිනසෝරයා ප්‍රචණ්ඩකාරී සත්වයකු නොවේ යැයි කිව නොහැකිය.
පැටවුන් ආරක්ෂා කර ගැනීමට, තම වැයික්කියේ ආධිපත්‍ය පතුරුවා ගැනීමට, සතුරන්ගෙන් බේරීමට ‘තෙරිසිනෝසෝරස්’ ප්‍රචණ්ඩකාරී වන්න ඇතැයි පොසිල විද්‍යාඥයෝ අනුමාන කරති. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ මිනිසුන්ට පහර දී ආහාරයට නොගත්තත්, ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ ප්‍රචණ්ඩ සත්වයකු බව නිරූපණය කෙරේ. ‘තෙරිසිනෝසෝරස්’ යන්නෙහි අර්ථය ‘යෝධ නිය ඇත්තා’ යන්නය. මේ සත්වයාගේ නිය තියුණුය ඒවා මීටරයක් තරම් දිගින් යුක්තය. දිගු වකුටු බෙල්ලක් සහිත සිරුර පිහාටුවලින් පිරී ඇත. හිසේ සිට වල්ගය දක්වා මීටර් 10 ක් දිග, මීටර් 7 ක් උස තෙරපෝඩ් ඩයිනසෝරයෙකි. තෙරපෝඩ් ඩයිනසෝරයන් යනු දෙපා ඩයිනසෝරයන්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE85DG75vpYb_pplBq16cgHDBH4ctFACRzGPaRwkaTVfOdureFQJx29stS531C23aom7zw73D_cwmBpM-futneP7pGZRlwLfFt5cpJLjc2AYyPGaSh3m_qxD3qGg3ouKMIH6CQiQhADoERh5_qozOFuGychfE5CiR82OS09ViYeQ0L-ps1kotih8Flcg/s16000/Therizinosaurus%2001.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq73APAHa6FKt6odkSeM-MTwmhFAdS3pvUTpQypMnQj5vLe8treBajX9ov6bKIsFuSFu3np708CiMy9VStSCUVDWpOngPBJOd5F99R2WIOp1cvEiAyDptdNoLQrvVlKulgcnEOVXpMhcGyz8hw18_LDgk-uAINaY2mdWJCd1YGc_SaljREwHcgJfS3ng/s16000/Therizinosaurus%2002.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihq0LO43dTIU-opeCUhgcrmYh6yxMGMRegLXBcepE-v4p6LTEmFLSoDNvP5Qnxu0dJ2utkOj91Wmfg-7kaScrfSW6xa6RdXp219_hOxssVOvGwZpi9ZY3YrSS10i2B5ArBOim-KWmri1wlzJKyjMMYlhTtOBYOzMiZYrtZnrqsQXBpUuCjykdocH7DWw/s16000/Therizinosaurus-03.jpg)
‘තෙරිසිනෝසෝරස්’ ටොන් පහක් පමණ බරය. ‘තෙරිසිනෝසෝරස්’ පළමු පොසිල අස්ථි සොයා ගැනීම සිදුවූයේ මොංගෝලියා කාන්තාරයෙනි. ඒ, 1948 වසරේදීය. 1948 වනවිට නිරවි යුද්ධය අවසන් වී තිබුණි. සෝවියට්වරු සහ මොංගෝලියන්වරු එක් වී මොංගෝලියාවේ කාන්තාර ප්‍රදේශවල පොසිල කැණීම් සහ ගවේෂණ සිදු කළහ. එවැනි ගවේෂණයකදී ‘තෙරිසිනෝසෝරස්’පොසිල අස්ථි හමුවිය.
මුලදී පොසිල විද්‍යාඥයන් සිතුවේ ඔවුන්ට හමුවූයේ ඉපැරණි යෝධ කැස්බෑවකුගේ අස්ථි කියාය. වසර 25 ක අධ්‍යයනයක ප්‍රතිඵල අනුව එම අදහස වෙනස් විය. ‘සෙග්නසෝරස්’ සහ ‘ඇලිගසෝරස්’ යනු ‘තෙරිසිනෝසෝරස්’ ට සමාන ආසියාවෙන් හමුවුණු තවත් නව ඩයිනසෝරයයන් දෙදෙනකි. මොවුන් සියලු දෙනා අයත් වන්නේ සුවිශේෂී ශාක භක්ෂක තෙරපෝඩ් ඩයිනසෝරයන් කණ්ඩායමකටය. දිගු දෑත්, දිගු නිය, දිගු බෙල්ලක් තිබීම මොවුන් කාටත් පොදු විශේෂ ලක්ෂණය. කෙසේ නමුත්, ‘තෙරිසිනෝසෝරස්’ ට තිබුණු ආකාරයේ දිගු නිය සහිත වෙන කිසිදු ඩයිනසෝරයකු මෙතෙක් හමුවී නැත.
පයිරෝ රැප්ටර්
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ අප කවුරුත් දැකීමට ප්‍රිය කරන රැප්ටරයන් ඇති පදමට දකින්න ලැබෙයි. ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ බ්ලූ නමැති රැප්ටරයා සහ ඇගේ පුංචි පැටවා ‘බේටා’ ද නිවැරදිව ඉලක්කයක් පසුපස පන්නමින්, මිනිසුන් දඩයමට පුහුණු කළ රැප්ටරයන් රංචුවක් ද ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ දකින්න ලැබේ. ඒ අතරේ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටවල හෝ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටවල හෝ පෙර දකින්න නොලැබුණු ආකාරයේ රැප්ටරයෙකු සිටී. ‘පයිරෝ රැප්ටර්’ යනු එම ඩයිනසෝරයාය. ‘පයිරෝ රැප්ටර්’ පිහාටු පිරුණු සහ තියුණු දත් පිරුණු, මිත්‍යා කතාවල සඳහන් ෆීනික්ස් කුරුල්ලකු වැනි ඩයිනසෝරයෙකි.
‘පයිරෝ රැප්ටර්’ යන්නෙහි අර්ථය ‘පයිරෝ’ යන්නෙහි අර්ථය ගින්දර ය. ‘රැප්ටර්’ යනු ‘සොරා’ ය. ඒ අනුව, ‘පයිරෝ රැප්ටර්’ යනු ‘ගිනි සොරා’ (Fire Thief) යන්නයි. පොසිලකරණයට ලක්වුණු මේ රැප්ටරයාගේ දත් දෙකක්, අතක අස්ථියක් සහ තියුණු නිය මුලින්ම සොයා ගැණුනේ 1992 වසරේදීය. ඒ, ප්‍රංශයේ වනාන්තරයකිනි. මේ වනාන්තරයේ ළැව් ගින්නක් හටගත් අතර, පොසිල කොටස් හමුවූයේ ළැව් ගින්නෙන් පසු කළ ගවේෂණයකදීය. ඒ අනුව, නව ඩයිනසෝරයා ට ‘පයිරෝ රැප්ටර්’ යන නම යෙදුණු බව පැවැසෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSR5M2uptMPA11J7ex2j3s8vEEU3C_9zKhDY12tk4bJYJ4hrHFxtsRNkKlP76JJmlkE8c2fLwC7W_Aw3JZhXU1dhjdT1-gmU-8eg74biAIw7S5ccLRo1erAAtyGYqG1Ak5qLwALyCgrdYRZSf9XwYHh7JvelE-a17BrkuPyfLg7xZm8iQdn0WrvavZxQ/s16000/Pyroraptor-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0rZs4uZWlso9zul_30Ch40XvxlWWaqs6HY40UE2NHdoWJ9DOdFpHcdB1tDN3BstKAXNknp255M1DEybSeda2yzGPWJFsycAKlqTEKRSScNnUPR-TRa5X6AOu-GZmqElUyDlzY6CGZNXTwYK-u9QTbnZP02K5xxJzkRyb291fBXe2hRiTtLOJdVL4e6Q/s16000/Pyroraptor-02.jpg)
‘පයිරෝ රැප්ටර්’ අයත් වන්නේ ‘ඩ්‍රොමිසොරිඩායි’ (Dromaeosauridae) නමැති පිහාටු ඇති කුඩා ඩයිනසෝර පවුලටය. මොවුන් මිහිමත ජීවත් වූ බව පැවැසෙන්නේ අවුරුදු මිලියන 77 කට පෙරය. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ, චිත්‍රපටයට ගැලපෙන විදියට ‘පයිරෝ රැප්ටර්’ තරමක් විශාල වුවත්, පොසිල විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ‘පයිරෝ රැප්ටර්’ අඩි 3 ක් හෝ 4 ක් දිග, බර රාත්තල් 5 ත් 10 ත් අතර රැප්ටරයකු වන්නට ඇති බවය.
පිහාටු තිබුණු බව පොසිල සාක්ෂි අනුව තහවුරු වී ඇති නමුත් පිහාටුවල වර්ණය විද්‍යාඥයන් කළ අනුමානයක් පමණි. රැප්ටරයන් කාටත් පොදු ලක්ෂණයක් වන්නේ උන්ගේ අත්වල සහ පාදවල පිහිටි තියුණු නිය ය. ‘පයිරෝ රැප්ටර්’ ට ද සෙන්ටි මීටර් 6.5 ක් තරම් දිග තියුණු නිය තිබුණි.
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටය හරහා ‘පයිරෝ රැප්ටර්’ ට රතු කහ සහ නිල් පිහාටු ඇති අතර, අයිස් තට්ටුවක් යට වතුරේ කිමිඳෙමින්, පෙන්ගුවීන් කෙනෙකු මෙන් දඩයම් කළ හැකි රැප්ටරයකු බව පෙන්නුම් කෙරේ. චිත්‍රපටයට එවැන්නක් පාදක වූයේ පොසිල විද්‍යාඥයන් කළ අනුමානයක් නිසාය.
පොසිල හමුවුණු ආකාරය අනුව, අතීතයේ ඔවුන් ඉබේරෝ අර්මොරිකාන් Ibero-Armorican නමැති දූපත් සමූහයේ පයිරෝ රැප්ටරයන් ජීවත් වන්නට ඇතැයි අනුමාන කෙරේ. මේ දූපත් ප්‍රමාණයෙන් විශාලය කිලෝ මීටර් 4,000 ක් තරම් වන්න ඇතැයි පැවැසෙයි. දූපත්වලට කොටු වී සිටිද්දී පයිරෝ රැප්ටරයන් වර්තමානයේ අප දකින පෙන්ගුවීන්ලා මෙන් පිහිනමින් සාගරයේ දඩයම් කරන්න ඇති යන සිතුවිල්ල පොසිල විද්‍යාඥයන් ලොවට ඉදිරිපත් කර තිබේ. එය ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයට පාදක කර ගැනීම සැබැවින්ම අපූරු දෙයකි.
ජිගැනෝටෝසෝරස්
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයට අනුව, මිහිමත මෙතෙක් පහළ වුණු විශාලතම මාංශභක්ෂකයා ‘ජිගැනෝටෝසොරස්’ ය. මේ යෝධයාගේ පොසිල අස්ථි පළමුවෙන් සොයා ගැනීම සිදුවූයේ 1993 වසරේදීය. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටය හරහා දකින්න ලැබීමත් සමඟ අද වනවිට ලොකු කුඩා කාගේත් අවධානය මේ සත්වයාට යොමු වී තිබේ.
‘ජිගැනෝටෝසොරස්’, අප කවුරුත් හොඳින් දන්නා ටයිරැනසෝරස් රෙක්ස් එසේත් නැතිනම් ටී රෙක්ස්ට වඩා විශාලය. බරින් ද වැඩිය. හොඳින් වැඩුණු සත්වයකු ටොන් 10 බර යැයි පැවැසෙයි. හොඳින් වැඩුණු ටී රෙක්ස්ගේ බර ටොන් 9 කි. මිහිමත මෙතෙක් පහළ වුණු විශාලතම මාංශභක්ෂකයා ‘ජිගැනෝටෝසොරස්’ ද යන්න සම්බන්ධයෙන් පොසිල විද්‍යාඥයන් අතරේ වාද විවාද පවතී. ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, පිටේ රුවලක් ඇති, කිඹුලකුගේ මෙන් දිගු හොම්බක් ඇති ‘ස්පයිනෝසෝරස්’ ඩයිනසෝරයා, ‘ජිගැනෝටෝසොරස්’ ට වඩා විශාල යැයි පැවැසෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT2TZ2EhkbLquxAdIb40XFIFTBPN9zaxtafNJz9c0tNX8JTW6GY603B4tbAZWEM2WEs4WKGm7Y1DFzFWCtKNXxlIz3gAIOj-UBO-uB-j2l_T2Yj4DoHQR-PwccXANJz_QJw23phRiDdwZtQoqe-wWVvV96Qxcc9gEOPR9P0yoKXGTQoXuOzYSpL_6k0g/s16000/Giganotosaurus-01.jpg)
‘ගිගැනෝටෝසොරස්’ යන නම ‘ගිගැනෝටෝසොරස්’ යනුවෙන් ද ශබ්ද කෙරේ. කෙසේ නමුත් ‘ජිගැනෝටෝසොරස්’ යන්නෙහි අර්ථය ‘යෝධයා’ යන්න පමණක් නොවෙයි. ‘ජිගැනෝටෝසොරස්’ වදනෙහි අර්ථය ‘දකුණු දෙසින් හමුවුණු යෝධ උරගයා’ යන්නය.
‘ජිගැනෝටෝසොරස්’ අස්ථි හමුවී ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ආජන්ටිනාවෙනි. අස්ථි පළමුවෙන් සොයා ගත්තේ ආජන්ටිනා පොසිල විද්‍යාඥ රූබන් ඩාරින් කැරෝලීනි ය. එදා අස්ථි සොයා ගන්නා විට රූබන් ඩාරින් කැරෝලීනි ආධුනිකයකු විය. එහෙත් අද වනවිට රූබන් ඩාරින් කැරෝලීනි කීර්තිමත්, ලොව පිළිගත් පොසිල විද්‍යාඥයෙකි.
කැරෝලීනි ට හමුවුණු ‘ජිගැනෝටෝසොරස්’ පොසිල අස්ථි හැර මෙතෙක් වෙනත් කිසිදු ‘ජිගැනෝටෝසොරස්’ ඩයිනසෝරයකුගේ අස්ථි මෙතෙක් හමුවී නැත. කැරෝලීනි ට හමුවූයේ ද ‘ජිගැනෝටෝසොරස්’ ඩයිනසෝරයකුගේ අස්ථිවලින් සියයට 70 ක් පමණි.
‘ජිගැනෝටෝසොරස්’ කණ්ඩායම් වශයෙන් ‘ආජින්ටනෝසෝරස්’ නමැති සෝරපෝඩ් (සිවු පා) යෝධ ඩයිනසෝරයන් දඩයම් කරන්න ඇත. ‘ආජින්ටනෝසෝරස්’ යනු මෙතෙක් හමුවී ඇති විශාලතම ඩයිනසෝර වර්ගයකි. ටී රෙක්ස් සහ ‘ජිගැනෝටෝසොරස්’ එකම කාලයේ මිහිමත වාසය කළේ නැත. ‘ජිගැනෝටෝසොරස්’ ජීවත් වූ බව පැවැසෙන්නේ ටී රෙක්ස්ට වඩා මිලියන 30 කට පෙරය. ‘ජිගැනෝටෝසොරස්’ පෘථිවියේ පහළ වූයේ අවුරුදු මිලියන 95 කට පෙරය.
෴ ලුසිත ජයමාන්න