උදව් කරන්න ගිහින් යාළුකම් නැතිකරගත්තා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2022

උදව් කරන්න ගිහින් යාළුකම් නැතිකරගත්තා

2016 දී විතර නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කටයුතු කරමින් සිටින අතරේ 2021 වසරේදී, දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වී දෙවැනි ස්ථානය දිනා ගත්තේ ඇයයි. ඇය නමින් මිෂෙල් ජයරත්න. ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිධාරිණියක වන ඇය මේ දිනවල අපට හමුවන්නෙ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන දයාරත්න රටගෙදර අධ්‍යක්‍ෂණය කළ ‘ඉරහඳ පායන ලෝකය’ නාට්‍යයේ ‘බතී’ ලෙසය. එලෙසින් මුණගැහෙන මිෂෙල් ජයරත්න, අපට මොනවද කියන්නෙ බලමු.

මිෂෙල් කවුද? 
මම මිෂෙල් ජයරත්න. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. පවුලේ එකම දරුවා මම. ඉගෙන ගත්තෙ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයෙන්. 

‘ඉරහඳ පායන ලෝකය’ නාට්‍යයේ ‘බතී’ ගැන කියමු?
මුහුදුකරයේ ජීවත් වූ තරුණියක්. එයා විවාහකයි. පරංගි සටනට එද්දී, එයාගේ සැමියා ඊට මුහුණ දෙන ආකාරය සහ පවුලේ සහ අනෙක් පිරිවර මුහුණ දුන් හැටි ගලා යන කතාවක්. බතීට මොකද වෙන්නෙ කියලා ඉදිරි කොටස් නරඹලා දැනගන්න පුළුවන් වේවි. 

‘ඉරහඳ පායන ලෝකය’, ‘බතී’ ලැබෙන ප්‍රතිචාර මොනවගේද? 
මේ නාට්‍ය නරඹන සමහර අය, එයාලගෙ ඇස් දෙකට කඳුළු ආ අවස්ථා තිබුණු බව කිව්වා. ‘බතී’ චරිතය මම හොඳින් කරන බව කිව්වා. අඩුපාඩු තියෙන්න ඇති. ඒත්, මම ‘බතී’ට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ ගත්තා. ක්ෂේත්‍රයේ සමහර ප්‍රවීනයින් කිව්වෙ මීටත් වඩා තව හොඳට කරන්න තිබුණා කියලයි. ප්‍රවීනයින්ගෙන් ලැබුණු උපදෙස් නිසා නිර්මාණවලට දායකවීමට තිබුණු චකිතය නැතුව ගියා. 

මේ ටෙලි නාට්‍යයේ කතාව ගලා යන්නෙ පෘතුගීසීන් ඒමට පෙර තිබූ සහ ඔවුන් ආපසු ඇතිවූ තත්ත්වය ගැනයි. කොහොමද අතීතයට ගොස් රඟපෑ ඒ අත්දැකීම? 
පෘතුගීසීන් ආ පසු ඔවුන්ට හෙළයින් මුහුණ දුන් විදිය, එදා අපට තිබුණු සටන් ක්‍රම ආදිය එක්ක කටයුතු කළ විදිය ප්‍රකාශ වෙනවා. 

මේ කතාවේ භාෂාව වෙනස්, කොහොමද ඒ භාෂාව පාඩම් කර ගත්තෙ?
වචන හරි අමාරුයි මතක තියා ගන්න. ඒත් නිරන්තරයෙන් අපි වාහනයේ යන එන ගමන්වලදී පවා ඒවා පාඩම් කරගත්තා. ඒක අපූරු අත්දැකීමක්. 

මිෂෙල්, මේ ඔබගෙ පළවැනි රඟපෑමද?
මීට කලින් ටෙලි ෆිල්ම් දෙකක් කළා. පෝය ටෙලි නාට්‍යයක් කළා. ‘ධරණි’ නාට්‍යයේ රඟපෑවා. ‘විදු’ නාට්‍යයේ රඟපෑවා. ඒක විකාශයට නියමිතයි. අමරබන්දු රූපසිංහ නාට්‍යයේ එක් කොටසකට පෙනී සිටියා. ඊට අමතරව විකාශයට නියමිත ‘සිරි දළදාගමනය’ නාට්‍යයේ රඟපානවා. 

මිෂෙල් රඟපෑම විතරද කරන්නෙ? 
කලින් බැංකු ආයතනයක සේවය කළා. 

ඇයි බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ? 
අයින් වුණේ මගේ උපාධියට ඉගෙන ගන්න තිබුණු නිසා. උපාධියට කළේ ව්‍යාපාර කළමනාකරණය.
ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලබාගෙන රඟපෑමට ආවෙ?
රඟපෑමට සහ කලා ක්ෂේත්‍රයට ආසාව ඇතිවුණේ ළමා කාලයේදීමයි. අවුරුදු දෙකේ වගේ වයසේ ඉඳලා මම නර්තනයට ලැදි බව අම්මා කිව්වා. ඒ සෞන්දර්ය අංශයට ලැදි අතරේ ඉගෙනීම් කටයුතුත් හොඳින් කළා. මට ඕනෑ වුණේ උපාධියක් අරගෙන, ඉගෙනීම් කටයුතු සාර්ථක කරගෙන මේ ගමන යාමටයි. රංගන විෂයයට ඉගෙනීමත් බලපානවා. කොහොමටත් පාසල් කාලයේදී පාසලේ කලා අංශයේ බොහෝ ඉසව්වලට දායක වුණා. නිවේදන කටයුතු පවා කළා. අධ්‍යාපන අංශයෙන් ජීවිතය පුරවා ගන්නා අතරේ මට කැමති දේ කිරීම තමයි අරමුණු කරගත්තෙ. තවම මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා නැහැ. දැන් මේ දිනවල ශාස්ත්‍රපති උපාධියට ලැහැස්ති වෙනවා. ඉගෙනීම් අතරේ රංගන ක්ෂේත්‍රයේ කටයුතු සමබරව කරගෙන යනවා. එදා අවුරුදු කුමරිය තරගයට සහභාගී වෙන්න මාව උනන්දු කළේ තාත්තා. අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනියා වුණාට පස්සේ, කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න මට උදවු කළේ අම්මයි, තාත්තයි. මගේ අවසාන ඉලක්කයක් ජීවිතේ තියෙනවා.
මොකක්ද ඒ ඉලක්කය? 
දක්‍ෂ, විශිෂ්ට රංගන ශිල්පිනියක වීම. පොඩි කාලයේ ඉඳලාම ඒ ආසාව උනන්දුව හිතේ තිබුණු දෙයක්. 

කොළඹ නාගරීකරණය එක්ක හැදී - වැඩුණු මිෂෙල්ට, ඒ පරංගි අතීතයට ගියාම සහ වැරහැලි ඇඳගෙන රඟපාද්දී ඇතිවූ හැඟීම් මොන වගේද? 
මේ නාට්‍යයේ මගේ සැමියා ලෙස රඟපාන්නෙ මන්ජිත තෙන්නකෝන්. එයාගෙන් සහ ප්‍රවීනයින්ගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. මේ නාට්‍යයේ එක්තරා කොටසක තේරවිලි කියන්න තිබුණා. මමයි මන්ජිත අයියයි, දහ පාරකට වඩා කට පාඩම් කරලා තමයි, ඒ දර්ශනවලට පෙනී සිටියෙ. අතීතය ගැන අපි කියවලා තිබුණට ආපසු අතීතයට යන්න ලැබෙන්නෙ ඒ වගේ නිර්මාණයකින්. ඉතින් ඒක ඉතා අපූරු අත්දැකීමක්. 

‘රාත්‍රී’ රූගත කිරීම්වලට පෙනී සිටි හැටිත් කියමු?
රාත්‍රියේදී රූගතකළ දර්ශනවලට පෙනී සිටියෙ, හරිම බයකින්. ඒ අහල පහලක ගෙවල් නැති තරම්. ඒ පළාතට අලි එන බව කලින්ම දැනගෙන හිටියා. ඉතින් බය තියාගෙන තමයි අපි ඔක්කෝම දර්ශනතලයේ හිටියෙ. ඒක ලොකු අත්දැකීමක්. 

සැබෑ ජීවිතයේ මිෂෙල්? 
යාළුවෝ එක්ක හරිම එකමුතු සතුටින් ඉන්න කැමති, ජීවිතයේ අරමුණක් ඇතිව ගමනක් යන කෙනෙක්. බොහෝ දෙනෙක්ට උදවු කරන්න කැමතියි. ඒ විදියට උදවු කරන්න ගිහින්, යාළුකම් අත්හරින්න සිදුවූ අවස්ථාත් තියෙනවා. ඒත් ඒ ගැන මම පසුතැවෙන්නෙ නැහැ. මොකද මම උදවු කරන්නෙ නැවත ප්‍රති උපකාර බලාපොරොත්තුව නෙවෙයි. හැමෝම එක්ක මිත්‍රශීලී චරිතයක්. නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. 

ටෙලි නාට්‍යයක රඟපෑම, හිතන තරම් ලෙහෙසි නැහැ කියලයි බොහෝ දෙනා කියන්නෙ? ඒක ඇත්තටම දුෂ්කරයි නේද? 
දුෂ්කරයි තමයි, ඒත් ඒක ලොකු අත්දැකීමක්. හොඳ සංයමයක්, විනයක් තිබිය යුතුයි. කටුක වුණත් එය මිහිරි අත්දැකීමක්. 
මිෂෙල් පොත් කියවීමට වැඩිය කැමතිලු නේද?
පොත් කියවීම මගේ පුරුද්දක්. ඒ නිසා ජීවිතය බොහෝ දේ එක්කරගන්න පුළුවන්. ‘‘බතී’’ගෙ චරිතය කිරීමට පවා කියැවීමේ පුරුද්ද නිසා, ඒ ආභාෂය නිසා මට එක්තරා විදියක පහසුවක් වුණා. මේ වගේ නාට්‍යයක අපට තනියම ගොඩනැගෙන්න බැහැ. අධ්‍යක්‍ෂවරයාගේ සිට, ප්‍රවීනයින්ගෙ සිට මුළු නාට්‍ය කණ්ඩායම මේ සහයෝගය වටහා ගැනීම නිසා තමයි එය සාර්ථක වෙන්නෙ. මුලින්ම මේ චරිතය ලැබුණාම මම අම්මටයි තාත්තටයි කිව්වෙ මේක කරන්න බැරි වේවි කියලයි. ඒත් ඒ දෙන්නා මාව වඩාත් ධෛර්යවත් කළා ඔයාට මේක හොඳට කරන්න පුළුවන් කියලා. අද මට මේ නාට්‍ය නරඹද්දී සතුටක් දැනෙන්නෙ. 

‘බතී’ විවාහකයි, ඒත් මිෂෙල් තවම අවිවාහකයි? 
අම්මා - තාත්තා ඒ ගැන මොනවද කියන්නෙ? ඒ ගැන කියනවා ඉතින්. නෑදෑයින් පවා ඒ ගැන කියනවා. මම ඉතින් හිනාවෙලා නිකන් ඉන්නවා. ජීවිතේ තව ටිකක් ඉගෙනීම් කළොත් හොඳ බව මගේ හැඟීමයි. 

මිෂෙල්’’ ඇත්තටම කියන්න, මිෂෙල් ආදරය දකින්නෙ කොහොමද?
විශ්වාසය කියන දේ තිබිය යුතුයි කියලා හිතනවා. මට එයාව විශ්වාස කළ හැකි වෙන්නත් ඕනෑ. ආදරේදී ප්‍රධාන දේ විශ්වාසය කියලයි මම හිතන්නෙ. 

සඳුන් ගමගේ 
ඡායාරූප - සජීව ලක්ෂාන්
උපුටා ගැනීම -  සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom