මේ වනතුරු අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ දසුන් අපට දකින්න ලැබුණේ අඟහරුට යැවූ ගවේෂණ රොබෝ යානා, කක්ෂීය යානා Orbiters සහ පතිත කරවන යානා Landers ආධාරයෙන්, එම දසුන් ලබාගෙන දින කීපයක් යද්දීය. ඒත් පසුගිය ජූනි දෙවැනිදා පළමු වරට අඟහරුගේ සජීවී දසුන් අපට දකින්න සැලැස්වීමට ‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ European Space Agency කටයුතු කළේය.
‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ ඔවුන්ට ලැබුණු අඟහරුගේ සජීවී දසුන් ඔවුන්ගේ යූටියුබ් නාළිකාවක් ඔස්සේ පැයක පමණ කාලයක් පුරා විකාශය කිරීමට ද කටයුතු කළේය. ඒ, ඒ ගැන විස්තර පැහැදිලි කර දෙමිනි. කලින් කී අයුරින්ම, මෙලෙස අඟහරුගේ සජීවී දසුන් දැක ගැනීමට හැකිවූයේ පළමු වරටය. ඒත් එය සිදුවූයේ කෙසේද?
ඇමෙරිකාවේ නාසා ආයතනය සේම, යුරෝපා අභ්‍යවකාශ ආයතනයත් අඟහරු ගවේෂණය කරයි. යුරෝපා අභ්‍යවකාශ ආයතනය යනු බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදී යුරෝපා රටවල් එක්වී අභ්‍යවකාශ කටයුතු සිදු කිරීමේ අරමුණින් පිහිටුවාගෙන ඇති අභ්‍යවකාශ ඒජන්සියයි. යුරෝපා අභ්‍යවකාශ ආයතනය, අඟහරු ගවේෂණය කරන්නේ ‘මාර්ස් එක්ප්‍රෙස්’ Mars Express යන නමින් නම් කළ මෙහෙයුම් හරහාය.
අඟහරු දසුන් සජීවී ලෙස අපට දකින්න ලැබුණේ ද ‘මාර්ස් එක්ප්‍රෙස්’ මෙහෙයුමට ස්තුති වන්නටය. ඉංග්‍රීසියෙන් අඟහරු යනු ‘මාර්ස්’ය.
‘මාර්ස් එක්ප්‍රෙස්’ මෙහෙයුම ආරම්භ වූයේ අද ඊයේ නොවෙයි; 2003 වසරේය. හරියටම කීවොත් 2003 ජූනි 2 වැනිදා මීට අවුරුදු 20 කට පෙරය. ‘මාර්ස් එක්ප්‍රෙස්’ මෙහෙයුමට රොබෝ යානා දෙකකි.
එකක් කක්ෂීය යානය (Orbiter) කි. අනෙක පතිත කරවන යානය (Lander) කි. කක්ෂීය යානය ‘මාර්ස් එක්ප්‍රෙස් ඕබිටර්’ Mars Express Orbiter ය. පතිත කරවන යානය ‘බීගල් 2’ Beagle 2 නම් විය. ‘මාර්ස් එක්ප්‍රෙස් ඕබිටර්’ මවු යානයක් ලෙස ක්‍රියා කළ අතර, එය තුළ ‘බීගල් 2’ පතිත කරවන යානය අන්තර්ගත විය.
කක්ෂීය යානය සාර්ථකව අඟහරුගේ කක්ෂයට පිවිසීමෙන් පසු, ‘බීගල් 2’ යානය අඟහරු මතුපිට බලා යෑම සිදුවිය. ඒත් මොකක්දෝ දෙයක් සිදුවිය. ‘බීගල් 2’ යානයට සිදුවුණේ කුමක්ද? ඒ කතාව පසුවට.
පසුගිය ජූනි දෙවැනිදා, අඟහරුගේ සජීවී දසුන් අපට නැරැඹිය හැකි වූයේ ‘මාර්ස් එක්ප්‍රෙස් ඕබිටර්’ Mars Express Orbiter කක්ෂීය යානයේ ආධාරයෙනි. ‘මාර්ස් එක්ප්‍රෙස්’ මෙහෙයුමට වසර 20 ක් සපිරීම නිමිත්තෙන්, එසේත් නැතිනම් ‘මාර්ස් එක්ප්‍රෙස්’ මෙහෙයුමේ 20 වැනි උපන් දිනය සැමරීම නිමිත්තෙන්, විද්‍යාඥයන් යානයේ පැරැණි කැමරාව මෙහෙයවමින් සජීවී දසුන් පෘථිවියට ගෙන්වා ගැනීම කළේය.
අසීරු කටයුත්තක් වුවත්, එය කෙසේ හෝ සාර්ථක කර ගැනීමට හැකිවිය. අඟහරුගේ සජීවී දසුන් පෘථිවියට ලබා ගැනීම සිදුවූයේ රේඩියෝ තරංග ලෙසිනි. අඟහරු සිට පෘථිවියට රේඩියෝ සංඥා ලැබීමට ගත වන කාලය මිනිත්තු 16 ක් සහ තත්පර 44 කි. අගහරු පෘථිවියේ සිට කිලෝමීටර් 30108095 ක දුරින් පිහිටා තිබීම ඊට හේතුවය.
ඒ අනුව, ‘මාර්ස් එක්ප්‍රෙස්’ ලබා ගත් දසුන් ළඟා වූයේ ඒවා ලබාගෙන මිනිත්තු 16 ක් සහ තත්පර 44 කට පසුවය.
‘බීගල් 2’ යානය, බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවන්ගේ නිර්මාණයකි. රොබෝ යානය ‘බීගල්’ යනුවෙන් නම් කෙරුණේ පරිණාමවාදයේ පියා චාල්ස් ඩාවින් සිහි ගන්වමිනි. ඩාවින් ලොව වටා ගමන් කළේ ‘බීගල්’ නෞකාවෙනි.
‘බීගල්’ රොබෝ යානය නිර්මාණය කෙරුණේ, අඟහරු මතුපිට පස් සාම්පල ලබා ගනිමින්, ඒවා විශ්ලේෂණය කරමින්, අතීතයේ අඟහරු මතුපිට ජීවය පැවැතියේදැයි ගවේෂණය කිරීමය. ‘මාර්ස් එක්ප්‍රෙස්’ කක්ෂීය යානය සාර්ථකව අඟහරුගේ කක්ෂයට පිවිසීමෙන් පසු, එය තුළ සූදානමින් තැබුණු බීගල්’ යානයට අඟහරු මතුපිටට යන්නැයි පෘථිවි විද්‍යාඥයන් අණ ලබා දුන්නේ 2003 දෙසැම්බර් 19 වැනිදාය.
ඒ අනුව, ‘බීගල් 2’ කක්ෂීය යානයෙන් මිදී, අඟහරු මතුපිට බලා ගමන් ඇරැඹුවේය.
‘බීගල්’ යානය අඟහරු මතුපිට බලා ගියා පමණි. එයින් කිසිදු සංඥාවක් පෘථිවි විද්‍යාඥයන්ට ලැබුණේ නැත. රෝබෝ යානය අඟහරුගේ කක්ෂයට පිවිසි බවත්, එය පහළට ගිය බවත් සහතිකය. ඒත් ඉන්පසු සිදුවුණේ කුමක්ද? එය අබිරහසක්ම විය.
යානය දෙසැම්බර් 25 වැනිදා අඟහරු මතුපිටට පතිත කිරීමට සැලැසුම් කර තිබුණ ද එය එසේ නොවිණි. යානය සමඟ සම්බන්ධ වීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. 2004 වසරේ පෙබරවාරි මාසයේදී ‘බීගල්’ යානය ගැන බලාපොරොත්තු අතහැර දැමුණි. මෙහෙයුම අසාර්ථක බව ප්‍රකාශයට පත් කෙරුණි.
‘බීගල්’ යානයට සිදුවූයේ කුමක්දැයි යන්න 2015 වසර වනතුරුම විද්‍යාඥයන්ට අබිරහසක් විය. 2015 දී ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරුගේ කක්ෂයට ගවේෂණ යානයක් යවා තිබුණි. මෙම කක්ෂීය යානයට HiRISE නමින් අධි බලැති කැමරාවක් සම්බන්ධ වෙයි. මෙම කැමරාවෙන් යානය අඟහරු මතුපිට ඡායාරූපයට ගනිමින් සිතියම් ගත කරද්දී අසාමාන්‍ය දෙයක් දුටුවේය. ඒ කුමක්දැයි පළමුවෙන් නාසා විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් විය.
පසුව අනාවරණය වූයේ ඒ ‘බීගල් 2’ යානය බවය. ඡායාරූප අනුව යානය සාර්ථකව අඟහරු මතුපිටට ගොඩබැස තිබුණි. ඒත්, යානයට බලය ලැබෙන සූර්ය පැනලවලට හානි සිදුවී තිබුණු අතර කැඩී ගිය එම පැනලවලින් සන්නිවේදන උපකරණ සියල්ල වැසී තිබුණි. 2003 දී විද්‍යාඥයන්ට යානය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූයේ ඒ නිසාය.
අඟහරු යනු හිරුගේ සිට සිවුවැනි ස්ථානයේ පසුවන ග්‍රහලෝකයයි. හිරු, එසේත් නැතිනම් සූර්යයාගේ සිට අඟහරුට ඇති දුර කිලෝ මීටර් මිලියන 227.9 කි. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනකි. ඒවා නම් කර ඇත්තේ ‘පෝබෝස්’ සහ ‘ඩිමෝස්’ යනුවෙනි. අඟහරු පසෙහි ඇති යකඩ ඛනිජ ඔක්සිකරණය හෝ මලකඩ පස සහ වායුගෝලය රතු පැහැයක් ගනී. අඟහරු රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන්නේ මේ නිසාය.
රාත්‍රී අහසේ අඟහරු දිපීතියෙන් දිස්වන්නේ ද රතු පැහැයෙනි.
අඟහරුගේ වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා සීතලය. ඒ අඟහරු පෘථිවියට වඩා හිරුගෙන් ඈත්වී පිහිටීමය. අඟහරු වායුගෝලයේ සියයට 95 ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. නයිට්‍රජන් ඇත්තේ සියයට 2.8 කි. ඔක්සිජන් ඇත්තේ සියයට 0.174 කි. ඒ අනුව පැහැදිලියි ජීවය පැවැතීමට සුදුසු වටපිටාවක් අඟහරු මත නැහැ. දැන් අඟහරු මතුපිට ජීවීන් නොසිටියත්, අතීතයේ, එනම් අවුරුදු දහස් ගණනකයට පෙර, අඟහරු ජීවයෙන් පිරුණු තැනක් වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ විශ්වාසයයි.
මනුෂ්‍ය අප අඟහරු ලොව නිසරු තැනක් බවට පත් වෙද්දී, එහි සිට පෘථිවිට පැමිණි පිරිසක් බවටත් ඇතැමුන් අතරේ මතයක් පවතී. අනාගතයේ 2035 වසරේ දී හෝ 2045 වසරේ දී අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ අඟහරු මතුපිට ජනාවාස පිහිටුවීමේ අරමුණින්ය.
නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධානී ඉලොන් මස්ක් ද අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ තමන් අඟහරු ග්‍රහලොවේ පදිංචි වීමට කැමැති බවත්, තමන් අවසන් සුසුම් හෙලීමට අඟහරු තෝරා ගත් බවත්ය. අතීතයේ අඟහරු මතුපිට ජීවය පැවැතියේ නම්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතැයි අනුමාන කළ හැකි ස්ථාන කීපයක් නාසා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ, මීට පෙර කළ අඟහරු ගවේෂණවලදීය.
෴ ලුසිත ජයමාන්න