ISS ගගනගාමීන්ට අකරතැබ්බක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 16, 2026

ISS ගගනගාමීන්ට අකරතැබ්බක්


ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ (International Space Station - ISS) යනු පෘථිවියට ඉහළින් පහළ පෘථිවි කක්ෂයක රඳවා ඇති දැවැන්ත පර්යේෂණාගාරයක් සහ නේවාසික මධ්‍යස්ථානයකි. මෙය ඇමෙරිකාව, රුසියාව, ජපානය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක අභ්‍යවකාශ ආයතන පහක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙයි. 

1998 වසරේ සිට මෙහි කොටස් අභ්‍යවකාශයේදී එකලස් කිරීම සිදුවුණු අතර, 2000 නොවැම්බර් මස සිට අඛණ්ඩව ගගනගාමීහු වරින් වර එහි පදිංචිව සිටිමින් විවිධ පර්යේෂණවලට දායකත්වය දක්වති. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ, පෘථිවියේ සිට දළ වශයෙන් කිලෝමීටර් 400ක් පමණ උසින් පිහිටා ඇති අතර, එය පැයට කිලෝමීටර් 28,000ක පමණ වේගයෙන් ගමන් කරයි. එම වේගය නිසා එයට පෘථිවිය වටා එක් වටයක් යාමට ගත වන්නේ විනාඩි 90ක් වැනි සුළු කාලයක් වන අතර, ඒ අනුව එහි සිටින ගගනගාමීන්ට දිනකට 16 වතාවක් හිරු උදාව සහ හිරු බැසීම දැකගත හැකිය. 

සාමාන්‍යයෙන් හය දෙනකුගෙන් හෝ හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට මෙහි නවාතැන් ගත හැකි අතර, ඔවුන් එහි මාස 6ක පමණ කාලයක් රැඳී සිටිමින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව වැනි ක්ෂේත්‍ර රැසක පර්යේෂණ සිදු කරති. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ එකලස් කිරීමේ පුරෝගාමීන් වන්නේ ඇමෙරිකාව සහ රුසියාවය. එබැවින් නැවතුම්පොළේ ඇමෙරිකානුවන්ට වෙනම කොටසක් ද රුසියානුවන්ට වෙනම කොටසක් ද ඇත. 

පසුගිය ජනවාරි 9 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ, වසර 25 ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ‘වෛද්‍යමය හදිසි තත්ත්වයක්’ හටගත්තේය. ඇමෙරිකා නාසා ආයතනය නිවේදනය කළේ ස්පේස් එක්ස් සමාගමේ 11 වැනි ගගනගාමීන් කණ්ඩායම ලෙස අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් සිටි ගගනගාමීන් සිවුදෙනාගෙන් තිදෙනකු මෙම ‘වෛද්‍යමය හදිසි තත්ත්වය’ හමුවේ ආපසු කඩිනමින් ගෙන්වා ගන්නා බවය. 
ඒ අනුව එය එසේ සිදුවිය. ගගනගාමීහු තිදෙනා පසුගිය 15 වැනිදා ආපසු පැමිණියහ. මෙම වෛද්‍යමය හදිසි තත්ත්වයට හේතුව, මෙම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු රෝගී වීමය. ඒත්, ඒ නාසා ආයතනය, ඒ ගැන කිසිවක් හරි හැටි පැහැදිලි කළේ නැත. ගගනගාමීන්ගේ ආපසු පැමිණීම සජීවීව නාසා ආයතනය ඔවුන්ගේ වෙබ් නාළිකා හරහා විකාශය කළේය. 

ඒත් කිසිදු ගගනගාමියකුගෙන් බරපතල රෝගී තත්ත්වයක් දකින්න නොලැබුණි. රෝගී වූ ගගනගාමියා කවුරුන්දැයි ප්‍රසිද්ධ නොකෙරුණේ, එම ගගනගාමියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි ද පැවැසිණි. 

ස්පේස් එක්ස් සමාගමේ 11 වැනි කණ්ඩායමට, ඇමෙරිකන් නාසා ගගනගාමීන් දෙදෙනකු, ජපාන ගගනගාමියකු සහ රුසියන් ගගනගාමියකු ඇතුළත් විය. හටගත් සෞඛ්‍ය ගැටලුව හේතුවෙන් මුලින්ම සැලසුම් කර තිබූ ගගන සක්මන් පවා කල් දැමීමට නාසා ආයතනය පියවර ගෙන තිබුණි. 

ස්පේස් එක්ස් සමාගමේ 11 වැනි ගගනගාමීන් කණ්ඩායම ආපසු පැමිණීමෙන් පසු, අභ්‍යවකාශ නැවතුම්පොළේ ඉතිරි වූයේ ගගනගාමීන් තිදෙනකු පමණි. ඒ, ස්පේස් එක්ස් සමාගමේ 11 වැනි කණ්ඩායමට අයත් නාසා ගගනගාමී ක්‍රිස් විලියම්ස් සහ රුසියානු ගගනගාමීන් දෙදෙනකු වන සර්ජි කුඩ්-ස්වර්ච්කොව් සහ සර්ජි මිකයෙව් ය. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - NASA

Classified_Ad