
ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය.
ඉන්පසු අවස්ථා කීපයකදී, 1972 වසර තෙක් කාලයේ, නාසා ගගනගාමීන් කීප දෙනකු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් යටතේ සඳට පය තබා ඇත. ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 57 කට පසු දැන් නාසා ආයතනය යළිත් වරක්, ගගනගාමීන් සඳට යැවීමට ඇමෙරිකන් ජාතික ගුවන් ගමන් සහ අභ්‍යවකාශ පරිපාලනය හෙවත් නාසා ආයතනය සූදානම් වෙයි.

යළි සඳට යෑමේ මෙහෙයුම් නාසා ආයතනය නම් කර ඇත්තේ ආටිමිස් යනුවෙනි.
එලැඹෙන අප්‍රේල් මාසයේ, ආටිමිස් 2 මෙහෙයුම ආරම්භ වීමට නියමිතය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විදෙස් ප්‍රතිපත්ති හරහා ලෝකය සමඟ ගැටෙද්දී, නාසා ආයතනය ආටිමිස් 2 මෙහෙයුමට ලහිලහියේ සූදානම් වෙයි.
යළිත් වරක් සඳට යා යුතු යැයි නාසා ආයතනය දිරිමත් කළ තැනැත්තා වන්නේ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ජනාධිපති ට්‍රම්ප් යළි සඳට යා යුතු යැයි පවසමින්, නාසා ආයතනය උනන්දු කළේ 2020 දීය. ට්‍රම්ප් සිය පළමු ජනාධිපති ධුරය හෙබවූයේ, 2017 සිට 2021 තෙක් කාලයේය. ඒ අනුව, මේ වනවිට ආටිමිස් 2 මෙහෙයුම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
ආටිමිස් 2 මෙහෙයුමේදී සිදුවන්නේ, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිවුදෙනා එස්.එල්.එස් නමැති අධිබලැති රොකට්ටුව සහ ඔරියන් නමැති ගගන කැප්සියුලය භාවිතයට ගනිමින් සඳ බලා යෑමය.
මෙම ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් වන්නේ තිදෙනකු පමණි. ජෙරමි හැන්සන් කැනේඩියානු ගගනගාමියෙකි. ඔහු නියෝජනය කරන්නේ කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයයි.
ගගනගාමීන් සිවුදෙනා රැගෙන යන ඔරියන් ගගන කැප්සියුලය සඳට ගොඩබාන්නේ නැත. එය සඳට ළං වී සඳ වටා කැරැකී ආපසු පෘථිවියට එයි. නාසා ගගනගාමීන් තිදෙනාටත්, කැනඩා ගගනගාමියාටත්, සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු ඒමට දින 10 ක් ගත වනු ඇත.
මෙම ආටිමිස් 2 මෙහෙයුම, සඳට ගගනගාමීන් යැවීම සිදුවන ආටිමිස් 3 මෙහෙයුමට පෙර සිදුවන පුහුණු මෙහෙයුමක් බව නාසා ආයතනය පැහැදිලි කර තිබේ.
ආටිමිස් 2 මෙහෙයුමට ලෝකවාසී ඕනෑම කෙනකුට සම්බන්ධ වීමට ද හැකි බව නාසා ආයතනය පසුගිය 19 වැනිදා දැනුම් දුන්නේය. ඒ, ‘ආටිමිස් 2 සමඟ ඔබේ නමත් සඳට යවන්න’ නමැති වැඩසටහන යටතේය.

නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වී, ඔබට ඔබේ නම ඇතුළත් කළ හැකි අතර, එම නම එස්.ඩී. ඩේටා කාඩ්පතක තැන්පත් කෙරෙන අතර, එම කාඩ්පත, ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනා රැගෙන යනු ඇතැයි පැවැසෙයි.
මීට දශක පහකට පෙර ඇපලෝ මෙහෙයුම් අවසන් කරමින් මිනිසා සඳෙන් සමුගත්තේය. නාසා ආයතනය ආටිමිස් මෙහෙයුම් හරහා සූදානම් වන්නේ හුදෙක් සඳට ගොස් පැමිණීමට නොව, සඳ මත මිනිස් ජනාවාස පිහිටුවීමය. එය අනාගතයේ සිදුවන අඟහරු ගමනට පදනම වනු ඇතැයි පැවැසෙයි.
ආටිමිස් ගගන වැඩසටහනේ, වඩාත්ම තීරණාත්මක අදියරක් ලෙස ආටිමිස් 2 සැලකිය හැකිය.
ආටිමිස් 2 මෙහෙයුම 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබුණ ද එය මෙම 2026 වසරේ අප්‍රේල් මාසය තෙක් කල් දැමුණි.
පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශය වෙත ගගනගාමීන් රැගෙන යන 21 වන සියවසේ පළමු මෙහෙයුම වනු ඇත්තේ ආටිමිස් 2 බව නාසා පැහැදිලි කර ඇත.
ඇපලෝ මෙන්ම ආටිමිස් ද ග්‍රීක දේව පුරාණයට සම්බන්ධ චරිත වෙයි. ඇපලෝ යනු ග්‍රීක දේවකතාවලට අනුව, චන්ද්‍රයාට නොව සූර්යයාට අධිපති දෙවියාය. 1960 සහ 70 දශකවල සඳට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුම මොහුගේ නමින් නම් කෙරුණි.
ආටිමිස් යනු ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට අධිපති දෙවඟනය. ආටිමිස් 3 මෙහෙයුම යටතේ ගගනගාමියකු පමණක් නොව ගගනගාමිනියක ද සඳට පය තැබීමට සලස්වන්න නාසා ආයතනය බලාපෙරොත්තු වෙයි. ඒ අනුව, යළි සඳට යන මෙම මෙහෙයුම් ආටිමිස් යනුවෙන් නම් කිරීම අර්ථාන්විතය.
1969 ජූලි 20 වන දින ඇපලෝ 11 මෙහෙයුම මගින් නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූහ. 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ වැඩසටහන යටතේ ගගනගාමීන් 12 දෙනකු සඳ මත පය තබා ඇත. ඔවුන් පෘථිවියට රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය කිලෝග්‍රෑම් 382 ක් පමණ යැයි පැවැසෙයි. සඳේ භූ විද්‍යාව පිළිබඳ මූලික දැනුම විද්‍යාඥයන්ට ලැබුණේ ඒ අනුවය.
බොහෝ දෙනකු අසන ප්‍රශ්නයක් වන්නේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු මිනිසා සඳට නොගියේ ඇයිද යන්නය. ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් ඇති බව නාසා පැහැදිලි කරයි. අධික පිරිවැය එක් හේතුවකි. ඇපලෝ මෙහෙයුම් සඳහා ඇමරිකානු රජයේ අයවැයෙන් විශාල ප්‍රතිශතයක් වැය කෙරුණි.
එදා සෝවියට් දේශය (අද රුසියාව) සමඟ පැවැති අභ්‍යවකාශ ජය ගැනීමේ තරගය ජය ගැනීමෙන් පසු ඇමෙරිකාවට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුදල් වැය කිරීමේ දේශපාලනික අවශ්‍යතාවය අඩු විය. නාසා ආයතනය අභ්‍යවකාශ ෂටල සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ කෙරෙහි අවධානය යොමු කළේය.
ලුසිත ජයමාන්න
ස්තුතිය - NASA