අවුරුදු 10,000 ක් පැරණි යාළුකම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 16, 2026

අවුරුදු 10,000 ක් පැරණි යාළුකම

මිනිසා සහ බලු සුරතලුන් අතර පවතින බැඳීම කොතරම් ශක්තිමත්දැයි අමුතුවෙන් කිව යුතු නැත. නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, මිනිසුන් සහ බල්ලන්ගේ මිත්‍රත්වය වසර 10,000 ක් පැරැණි බවය.

පුරාණ බලු සුරතලුන්ගේ ඩී.එන්.ඒ. (ජාන) පරීක්ෂා කිරීමෙන් විද්‍යාඥයන් මෙම බව අනාවරණය කරගෙන ඇත. ලුඩ්විග් මැක්සිමිලියන් විශ්වවිද්‍යාලයේ සහ ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෝරන්ට් ෆ්‍රාන්ට්ස් ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කරනු ලැබ ඇත. 

පර්යේෂකයන් මේ සඳහා යොදාගත්තේ පේලියොජෙනොමික්ස් (Paleogenomics) නම් විද්‍යා ක්ෂේත්‍රයය. ඉතා පැරණි අස්ථි සහ දත්වලින් ලබාගන්නා ඩී.එන්.ඒ. මගින් දත්ත රැස් කර ගැනීම මෙහිදී සිදුවෙයි. පර්යේෂකයන්, සයිබීරියාව, නැගෙනහිර ආසියාව සහ යුරේසියානු තණබිම් ප්‍රදේශවලින් හමු වූ පැරණි බලු සුරතලුන් 17 දෙනකුගේ ජාන විශ්ලේෂණය කළ අතර, ඒවා තවත් පැරණි සහ නවීන බලු සුරතලුන්ගේ ජාන සිය ගණනක් සමඟ සසඳා බලන ලදී. මිනිස් ජනගහනය එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සංක්‍රමණය වන විට, ඔවුන් තමන්ගේ බලු සුරතලුන් ද රැගෙන ගොස් ඇති බව ඒ අනුව තහවුරු වී ඇත.

මිනිස් ජානවල සිදුවූ වෙනස්කම්වලට සමාන වෙනස්කම් එම කාලවකවානුවලදීම බලු සුරතලුන්ගේ ජානවල ද සිදුවී ඇති බව මෙහිදී තහවුරු විය. ගොවිතැන ආරම්භ වීමටත් බොහෝ කලකට පෙර, එනම් මීට වසර 11,000කට පෙර සිටම බලු සුරතලුන් ප්‍රධාන වර්ග කිහිපයකට බෙදී සිටි බව ඩී.එන්.ඒ. පරීක්ෂණ පෙන්වා දී ඇත. 

ලුසිත ජයමාන්න 
Earth.com ඇසුරිනි

Classified_Ad