ඉරානයේ අවසන් හෝරාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 1, 2026

ඉරානයේ අවසන් හෝරාව

ඇමෙරිකාව ලෝක බලවතාය. ඇමෙරිකාව හැඳින්වෙන්නේ ලෝකයේ පොලිස්කාරයා ලෙසය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, මෙම පොලිස්කාරයාගේ භූමිකාව හරි අපූරුවට කරගෙන යන බව පෙනෙයි. රට රටවල පැවැතිය යුත්තේ කුමන විදියේ පාලනයක්ද? රාජ්‍ය නායකයන් කවුරුන් විය යුතුද? ඔවුන්ගේ තීන්දු තීරණ කුමක් විය යුතුද? ජීවත් විය යුත්තේ කවුද? මිය යා යුත්තේ කවුද? ආදිය තීරණය කරන්නේ ට්‍රම්ප්ය. තමන්ට හිතවත් නැතැයි හැගෙන මිත්‍ර රටවලට ට්‍රම්ප් තීරු බදු පනවයි. සතුරු රටවලට එරෙහිව හමුදා මෙහෙයුම් අරඹයි. තමන්ට රුස්සන්නේ නැතිනම්, ඒ රටේ ජනාධිපති කුදලාගෙන එයි. වෙනිසියුලා ජනාධිපති මදුරෝ ට සිදුවූයේ එවැන්නකි.

පසුගිය මාස ගණනක් තිස්සේ, ‘ඉරානයට ගහනවා’ යැයි අනතුරු අඟවමින් සිටි ට්‍රම්ප්, ඊයේ (28) අලුයම, තම ගජ මිතුරා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද හවුල් කර ගනිමින්, ඉරානයට පහර දීම ආරම්භ කළේය. ඒ, මැදපෙරදිග කලාපය පමණක් නොව, මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත් කරමිණි. ඉරානයේ අගනුවර තෙහෙරාන් ය. ඊයේ (28) තෙහෙරාන් අගනුවරටත්, ඉෂ්ෆහාන්, කර්මන්ෂා, තබ්‍රීස්, කොම් සහ කෙනාරක් පිහිටි ඉරාන නාවික හමුදා මධ්‍යස්ථානවලටත් ගුවන් ප්‍රහාර එල්ල විය. තවත් ඉලක්කවලට ප්‍රහාරෙ එල්ල විය.

ඇමෙරිකා සහ ඊශ්‍රායල හමුදාවට අනුව, ඉරානයේ ඉලක්ක 500 කට ඔවුන් පහර දුන්නේය. එල්ල කළ එම ප්‍රහාර අතරින්, තෙහෙරාන් අගනුවර උතුරු දෙසින් වූ එක් ඉලක්කයක් සුවිශේෂී විය. එම ඉලක්කය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ නිවසය. කමේනිගේ නිවසට පමණක් එල්ල වුණු මිසයිල ප්‍රහාර ගණන 30 කට වැඩිය. ඒවා එල්ල වූයේ එකපිටඑකය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව, එම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක කමේනි ජීවිතක්ෂයට පත්විය. 

ට්‍රම්ප් මේ බව කියා සිටියේ අද (1) සිය ටෲත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුම හරහාය. කමේනිගේ ඝාතනයත් සමඟ ඉස්ලාමීය පාලනයෙන් මිදීමට ඉරාන ජනතාවට හැකිවනු ඇති බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (ඉරාන හමුදාව) සහ ඉරාන පොලිසිය සාමකාමීව එරට දේශප්‍රේමීන් සමඟ එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් ටෲත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවැසීය. අයතුල්ලා අලී කමේනි, 1939 දී ඉරානයේ මෂාඩ් නගරයේදී උපත ලැබීය. ඔහුගේ පියා අයතුල්ලා සෙයියද් ජාවඩ් කමේනි, ඉතාමත් සරල ජීවිතයක් ගත කළ ආගමික විද්වතෙකි. කමේනි උපත ලබා සිටියේ ඉතා දිලිඳු පවුලකටය. ඔහුගේ පවුල් පසුබිම දැඩි ආගමික නැඹුරුවක් දැක්වීය. කමේනිගේ ළමා කාලය ගෙවුණේ එක් කාමරයක් පමණක් තිබූ කුඩා නිවසේය. බොහෝවිට ඔහු නින්දට ගියේ කුසට අහරක් නොමැතිවය.‍ 
කාමේනිගේ මව ඛදීජා මිර්දමාදි, ඉතා උගත් සහ භක්තිමත් කාන්තාවකි. ඇය ආගමික පවුලකින් පැවත ආ අතර, කමේනිගේ මූලික අධ්‍යාපනයට සහ ගුණධර්ම හැඩගැස්වීමට ඇයගෙන් විශාල බලපෑමක් ලැබුණි. කමේනි පවුලේ දරුවන් අට දෙනෙකුගෙන් දෙවැන්නා වූ අතර, ඔහුගේ සහෝදරයන් ද ආගමික කටයුතුවල නිරත වූ පුද්ගලයෝ වූහ. 

කමේනි පවුලේ පරම්පරාව සලකා බැලීමේදී, ඔවුන් මොහොමඩ් නබිතුමාගේ පරම්පරාවෙන් පැවත එන බව විශ්වාස කෙරෙන බැවින් ඔහු සෙයියද් යන ගෞරව නාමයෙන් ද හැඳින්වීම සිදුවිය. ඔහුගේ මුතුන් මිත්තෝ ඉරානයේ අසර්බයිජාන ප්‍රදේශයට අයත් කමේනෙහ් නගරයේ සිට පැමිණි අය වෙති. 

1964 දී ඔහු මොජ්ගාන් සමඟ විවාහ විය. මෙම යුවළට දරුවන් හය දෙනකු සිටින අතර, පුතුන් සිවුදෙනාම පියා මෙන්ම ආගමික අධ්‍යාපනය ලබා පූජකවරුන් ලෙස කටයුතු කරති. ඔහුගේ දරුවන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ දේශපාලන කරළියෙන් බැහැරව සිටීමට උත්සාහ කළද, ඔහුගේ දෙවැනි පුත් මුජ්තබා කමේනි ඉරාන දේශපාලනය තුළ යම් බලපෑමක් ඇති අයෙකි. කමේනිගෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වීමට නියමිතව සිටියේ මොහුය. මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මුජ්තබා ද මියගිය බවය. ඊට අමතරව කමේනිගේ දියණිය, එම දියණියගේ දරුවන් ද ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය බව ද වාර්තා විය. 

 1979 ඉරාන විප්ලවයේ නිර්තෘ අයතුල්ලා කුමේනිගේ සමීපතම අනුගාමිකයකුව ලෙස කටයුතු කළේ කමේනීය. කුමේනි මෙන්ම කමේනී ද ඇමෙරිකන් හිතවාදී ෂා රජුගේ පාලනයට එරෙහිව සක්‍රීයව කටයුතු කළහ. මේ හේතුවෙන් කිහිප වතාවක්ම කමේනීට සිරගත වීමට සිදු විය. ඉරාන විප්ලවයෙන් පසු පිහිටුවනු ලැබූ නව රජය තුළ විවිධ තනතුරු හෙබවූ කමේනි, 1981 සිට 1989 දක්වා ඉරානයේ තෙවන ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. 1989 දී කුමේනිගේ අභාවයෙන් පසු, ඉරානයේ උසස්ම තනතුර වන උත්තරීතර නායක ධුරයට කමේනී පත් කරනු ලැබීය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධයෙන් කමේනී දැඩි දැඩි මතයක් දරන්න විය. 

ඉරානයට එරෙහිව පැනවූ ආර්ථික සම්බාධක හමුවේ වුවද, කමේනී සිය ප්‍රතිපත්ති ලිහිල් කළේ නැත. සිරියාව, ලෙබනනය සහ යේමනය වැනි රටවල ඉරාන හිතවාදී කණ්ඩායම් ශක්තිමත් කරමින් මැදපෙරදිග තුළ ඉරානයේ බලය ව්‍යාප්ත කිරීමට කමේනි සමත් විය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් ඔහු දැඩි ස්ථාවරයක සිටින අතර, එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, සාමකාමී අරමුණු සඳහා බව කමේනි නිරන්තරයෙන් පවසා තිබුණි. 

අලි කමේනිගේ පාලන කාලය අභියෝගවලින් තොර වූවක් නොවීය. ඉරානයේ දැඩි ආගමික නීති, මානව හිමිකම් පිළිබඳ ගැටලු සහ ආර්ථික අර්බුද හේතුවෙන් විවිධ අවස්ථාවලදී මහජන විරෝධතා මතු විය. එසේ වුවද, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සහාය ඇතිව මේ දක්වා සිය පාලනය ස්ථාවරව පවත්වා ගැනීමට කමේනී සමත් විය. කමේනි මරා දැමීමෙන් පසු ඉරානයට කුමක් වේවිද? කුමන විදියේ පාලනයක් ස්ථාපිත වේවිද යන්න ප්‍රශ්නාර්ථයකි. 

 ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවට (පෙන්ටගනය) අනුව, ඔවුන් ඉරාන ඉස්ලාමීය රෙජීමයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම හඳුන්වන්නේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යන නමිනි. ට්‍රම්ප් සදහන් කර ඇති පරිදි, ‘එපික් ෆියුරි’ මෙහෙයුමේ අරමුණ ඉරානයේ මිසයිල පද්ධති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කර දැමීම සහ ඉරානයේ ඉස්ලාමීය රෙජීමය අවසන් කිරීමය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනුව, එරට හමුදාව ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම හැඳින්වෙන්නේ ‘ඔපරේෂන් ලයන්ස් රෝර්’ හෙවත් ‘සිංහ ගර්ජනාව’ යනුවෙනි. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ආරම්භ කළ හමුදා මෙහෙයුම ‘ටෲ ප්‍රොමිස්’ හෙවත් සැබෑ පොරොන්දුව යනුවෙන් නම් කර ඇත. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහි හමුදා ප්‍රහාරය අධීක්ෂණය කළේ ෆ්ලොරීඩාවේ පිහිටි සිය මාර් අ ලාගෝ මන්දිරයේ සිටය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් ට්‍රම්ප් සමඟ සිටියහ. උප ජනාධිපති ජේඩී වැන්ස්, ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානිය තුල්සි ගැබාඩ් සහ ඇමෙරිකන් හමුදා ප්‍රධානීහු හමුදා මෙහෙයුම අධීක්ෂණය කළේ වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිටය. ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන ආරක්ෂක මණ්ඩලයේ ලේකම් සහ කමේනිගේ සමීප උපදේශකයකු ද වූ අලි ශම්කානි මියගියේය. 

ඊට අමතරව, ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ ඉරාන විප්ලවීය හමුදා බලඇණියේ ගොඩබිම් හමුදා අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද මියගිය බව පැවැසෙයි. ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් පළාතේ මිනාබ් නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. ඉරාන වැසියෝ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. බාලිකාවෝ ද ඒ අතර සිටිති. ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉරානය පෙරළා ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමෙරිකන් හමුදා කදවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. 

 ඊයේ (1) දිනය පුරාවට ද කටාර්, බහරේනය, කුවේටය, අබුඩාබි නගරවලින් ද සෞදි අරාබියේ රියාද් නගරයෙන් ද ප්‍රබල පිපිරුම් හඬ ඇසෙන්න විය. ඉරානයේ අසල්වැසියා වන ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් නොව කලාපීය රටවල් බොහොමයක් තම තමන්ගේ ගුවන් කලාප වසා දැමීය. ගුවන් යානා මැදපෙරදිග මඟ හැර යෑම සිදුවිය. ගුවන් ගමන් බොහොමයන් අවලංගු කෙරුණි. 

නියමුවන් රහිත පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඩුබායි ගුවන්තොටුපොළ වසා දැමීමට පියවර ගැණුනු අතර මහා අවුල් ජාලයක් නිර්මාණය කළේය. ඩුබායි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල පිහිටි සුප්‍රකට බර්ජ් අල් ඇරෑබ් හෝටලයට ද ඉරානයේ නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. පිපිරීම් සිදුවිය. තරු පහේ හෝටලයේ ගින්නක් ද හටගත්තේය. 

වසර 37කට ආසන්න කාලයක් ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ කමේනි මියගිය බව ට්‍රම්ප් මෙන්ම නෙදන්යාහු ද පැවැසුවේ, කමේනිගේ මළ සිරුරේ ඡායාරූප පෙන්වමිනි. ට්‍රම්ප් ඔහුගේ ටෲත් සේෂල් ගිණුම හරහා සටහනක් පළ කරමින් කියා සිටියේ, ලොව පහළ වුණු අතිශය දුෂ්ට පුද්ගලයන්ගෙන් කෙනකු වන අයතුල්ලා අලි කමේනි ඉතිහාසයට එක්වුණු බවය. මෙය ඉරාන ඉස්ලාමීය පාලනයෙන් පීඩාවට පත් හෙම්බත් වුණු ඉරාන ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ට්‍රම්ප් පෙන්වා දී ඇත. 

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල වෙසෙන ඉරාන වැසියන්ට, ඉරාන දේශපාන ක්‍රියාකාරීන්ට කමේනිගේ ඝාතනය සතුටට හේතුවක් විය. ලොස් ඇන්ජලීස් සිට ලන්ඩන් නුවර සිය ගණනක් ඉරාන වැසියෝ වීදි බැස ඉරාන ධජ අතැතිව ප්‍රීති ඝෝෂා පවත්වන්න වූහ. ට්‍රම්ප්, ඉරානය සම්බන්ධයෙන් ගත් මෙම හමුදා ක්‍රියාමාර්ගය නුවණැති එකක් නොවෙන බව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගේ පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැමුන්ගේ ද අදහසය. 

මැදපෙරදිග කටයුතු පිළිබඳ හිටපු ඇමෙරිකානු ලේකම්වරයකු (ඇමති) වන ටෝබියාස් එල්වුඩ් පවසා ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය තුළ නොසිතූ විරූ ගැටලු සහ අර්බුද රැසක් නිර්මාණය කළ බවය. මෙම තත්ත්වය, ඉරානයේ අනාගතය හැඩගැස්වීමට අවස්ථාවක් ලබා දීමට හෝ ඉරානය අස්ථාවර කිරීමට හෝ හේතුවනු ඇතැයි ටෝබියාස් එල්වුඩ් පවසා ඇත. මේ අතර, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වමින් ද බටහිර රටවල් කීපයක විරෝධතා රැලි පැවැත්විණි. 

 ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහරදීම කළේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතරේ වක්‍රාකාරයේ සාකච්ඡා පැවැත්වෙද්දීය. ඉරානය සහ ඇමෙරිකාව අතරේ අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම න්‍යෂ්ටික වැඩසටහනය. ඉරානය මෙම වැඩසටහනට මුවා වී විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව චෝදනා නගයි. ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම උසි ගන්වන්නේ ඊශ්‍රායලයයි. සාකච්ඡා පැවැත්වෙද්දී පවා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකාවට සිය අප්‍රසාදය පළ කර ඇත. 

ඇමෙරිකා සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සැලකිල්ලට ගනිමින් තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් ඉවත් වන බව ඉරානය පවසා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඉරාන තානාපති අමීර්-සයිඩ් ඉරවානි පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බවය. මේ අතර, පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අස්ථාවර වීමක් දක්නට ලැබෙන බව ආර්ථක විශ්ලේෂකයෝ පවසති. 

ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය මෙම ගැටුමේ ප්‍රධාන මර්මස්ථානයයි. සමුද්‍ර සන්ධිය ඇත්තේ ඉරානය අසලය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය තර්ජනය කළේ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වෙද්දීය. ඒ අනුව, මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය අවදානම නිසා තෙල් සැපයුම අඩාල වේ යැයි පවතින බිය හේතුවෙන්, සැබෑ හිඟයක් ඇතිවීමටත් පෙර, සමපේක්ෂණ ක්‍රියාවලිය හරහා තෙල් මිල ඉහළ යෑම සිදවුනු ඇතැයි පැවැසෙයි. 

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවොත්, එය ගෝලීය බලශක්ති අර්බුදයකට සෘජුවම මඟ පාදයි. මෙය සෞදි අරාබිය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ප්‍රධාන අපනයනකරුවන්ගේ තෙල් මාර්ග අවහිර වන බැවින්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ක්ෂණිකව සහ විශාල වශයෙන් ඉහළ යනු ඇත. එවැනි තත්ත්වයක් තුළ අප ශ්‍රී ලංකාව වැනි ආනයනය මත යැපෙන රටවල උද්ධමනය ඉහළ ගොස්, ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා සමස්ත ආර්ථිකයම දැඩි පීඩනයකට ලක්වනු නොඅනුමානය. 

ලුසිත ජයමාන්න 
Al Jazeera ඇසුරිනි

Classified_Ad