ට්‍රම්ප්ගේ තර්ජන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 5, 2026

ට්‍රම්ප්ගේ තර්ජන

පැහැදිලි එකඟතාවක් ඇති කර ගනිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දී ඇති දින 10 ක කාලය අවසන් වී ඇත. ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ, ‘නුඹලට තව ඇත්තේ පැය 48 ක් පමණයි. පැහැදිලි එකඟත්වයක් ඇති කර නොගත්තොත්, මුලු ඉරානයම අපායක් කරන්න අප පසුබට වෙන්නේ නැහැ. ඉරානය සුන්නද්ධූලි කරනවා’ යනුවෙන් තර්ජනය කරමිණි. ට්‍රම්ප් මෙලෙස තර්ජනය කළේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම හරහාය. “පුළුවන් දෙයක් කරපන්. අප ඕනෑ දේකට ඔට්ටුයි” මේ, ඊට ඉරානය දැක්වූ ප්‍රතිචාරයයි. 

 ඇමෙරිකා, ඊශ්‍රායල, ඉරාන යුද්ධය අවසන් කිරීමට නම්, කවුරුන් හෝ අඩියක් පස්සට ගැනීම කළ යුතු වුවත්, කවුරුවත් එසේ කරන්නේ නැත. ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන්, ඉරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙයි. පසුගිය දා ඇමෙරිකන් ප්‍රහාරක යානා ඉරානයේ බී1 පාලමට පහර දුන්නේය. 

පාලමේ මැද කොටස ප්‍රහාරයෙන් විනාශ විය. අල්බෝර්ස් (Alborz) පළාතේ කරාජ් (Karaj) නගරයේ ඉදි කර ඇති මෙම පාලම, ඉරාන ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. මෙය ඉරානයේ සහ මැදපෙරදිග කලාපයේ පවතින උසම සහ සංකීර්ණතම පාලම් ව්‍යාපෘතිවලින් එකකි. පාලමේ උසම කුලුන මීටර් 130කට වඩා වැඩි වන අතර, එය ඉරානයේ පවතින උසම පාලම් කුලුන ලෙස ද සැලකෙයි. 

පාලමේ මුළු දිග මීටර් 1,000කට (කිලෝමීටර් 1) ආසන්න වෙයි. ඇමෙරිකාව පාලමට පහර දුන්නේ, පාලම හරහා ඉරානය ඔවුන්ගේ මිසයිල ප්‍රවාහනය සිදු කරන බව පවසමිණි. පාලමට හානි සිදුවුවුත්, ඇමෙරිකන් ප්‍රහාරයෙන් ඉරාන වැසියන් කිසිවකුටවත් හානියක් සිදු නොවිණි. ඇමෙරිකාව ඉරානයට ගුවනින් ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන් සතු අති නවීන මෙන්ම අති ප්‍රබල ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි. 

එසේ ප්‍රහර දීමට පැමිණි එෆ් 15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ද පහර දී බිම දැමීමට ඉරාන හමුදාව සමත් විය. ප්‍රහාරය එල්ල වෙද්දී යානයේ ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා පැරෂූට් ආධාරයෙන් එළියට පැනගත් අතර, ඔවුන් සොයා ඇමෙරිකන් හමුදාවත් ඉරාන විප්ලවීය හමුදාවත් කාලය සමඟ තරග කරමින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අසන්න ලැබුණි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ දෙදෙනාගෙන් එක් අයකු බේරා ගැනීමට හැකිවුණු බවය. 

මේ අතර, අනෙක් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන්නැයි ඉරාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එම නියමුවා අල්ලා ගැනීමට උදවු කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 66,100 ක ත්‍යාගයක් ලබා දෙන බව ඉරාන රජය නිවේදනය කළේය. ඉරාන ප්‍රහාරයෙන් කඩා වැටුණු එෆ් 15 යානයේ සිට අතුරුදන්වූ ගුවන් නියමුවා ඉරානය විසින් අල්ලා ගනු ලැබුවහොත්, ඔහු ප්‍රාණඇපකරුවකු ලෙස ඉරානයට වාසිදායක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස විය.

 ඉරාන ඉස්ලාමීය රජය, එම නියමු සෙබළා ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන බව පෙන්වමින් ඡායාරූප හෝ වීඩියෝ දසුන් හෝ ප්‍රසිද්ධ කළොත්, ඇමෙරිකන් ජනතාව නොසන්සුන් වීමට ඉඩ ඇති බව ද පැවැසිණි. මේ වනවිටත් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකන් වැසියන් තුළ ට්‍රම්ප් ගැන කලකිරීමක් ඇත. 

මැදපෙරදිග ගැටුම ඇමෙරිකාවේ ද භාණ්ඩවල මිල ඉහළ දැමීමට හේතුවක් වී අවසන්ය. කෙසේ නමුත් ඉතා ත්‍රාසජනක දිවි ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසු නියමුවා බේරා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකන් හමුදාව මෙන්ම ට්‍රම්ප් ද පැවැසීය.

ඇමෙරිකාව ඉරානයට එරෙහිව ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ප්‍රහාරක යානා කීපයක් විනාශ කළ බව ඉරානය මේ වනවිට පවසා ඇත. පසුගියදා පහරදී බිම දැමූ එෆ් 15 ඇමෙරිකානු ප්‍රහාරක යානයේ නියමුවන් සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකන් හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානා දෙකකට ද ඉරාන හමුදාව පහර දුන් බව පැවැසෙයි.

ඇමෙරිකන් හමුදාවට අයත් වෝතොග් ඒ 10 වර්ගයේ අති ප්‍රබල ප්‍රහාරක යානයකට ද ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. යානය එම ප්‍රහාරයට ලක් වී ඇත්තේ කුවේටයට ඉහළින් අහසේදීය. ලොව පුරා ගුවන් හමුදා සතු ප්‍රහාරක යානා අතර එෆ්15 ඊගල් (F-15 Eagle) යානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

ඇමෙරිකාවේ මැක්ඩොනල් ඩග්ලස් සමාගම විසින් නිර්මාණය කරන ලද එෆ්15 ප්‍රහාරක යානය‍ ප්‍රධාන වශයෙන්ම ගුවන් ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අරමුණින් නිපදවා ඇත. යානයේ ඇති වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය එහි වේගය සහ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවය. 

එන්ජින් දෙකකින් සමන්විත මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට වඩා වැඩි වේගයකින් පියාසර කළ හැකි අතර, යානයේ ඇති අතිනවීන රේඩාර් පද්ධති මගින් බොහෝ දුර තබා සතුරු යානා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ ශක්තිය පවතී.

දශක පහකට වැඩි කාලයක් තිස්සේ ගුවන් සටන්වල යෙදෙන එෆ්15 යානය, ගුවන් සටන් ඉතිහාසය තුළ මෙතෙක් කිසිදු සතුරු ප්‍රහාරයකින් වෙඩි තබා බිම හෙළීමට නොහැකි වූ යානයක් ලෙස වාර්තාගත වී තිබීම එහි කාර්යක්ෂමතාවයට කදිම නිදසුනකි. 

කෙසේ නමුත් වාර්තාව, බිඳ වැටුණු අවස්ථා ද ඇත. පසුගිය දා අසන්න ලැබුණේ ද එවැනි සිදුවීමකි. ගුවන් ඉලක්ක වලට පමණක් නොව, ගොඩබිම ඉලක්කවලට ද ඉතා නිවැරදිව බෝම්බ හෙළීමේ හැකියාව මෙම යානා සතුය. 

මේ නිසාම වර්තමානය වන විටත් ලොව බලවත්ම ගුවන් හමුදාවන්ගේ ප්‍රධානතම අවියක් ලෙස එෆ්15 යානය නොසැලී පවතී. ගුවන් හමුදා ඉතිහාසයේ වඩාත්ම විශ්වාසවන්ත සහ ශක්තිමත් ප්‍රහාරක යානයක් ලෙස ඒ10 වෝතොග් (A-10 Thunderbolt II) ප්‍රහාරක යානා හැඳින්විය හැකිය.

 ඒ10 වෝතොග් ප්‍රහාරක යානා, එෆ්15 මෙන් වේගයෙන් පියාසර කිරීමට නොව, පොළොවට ඉතා සමීපව පියාසර කරමින් පාබල හමුදාවට සහාය දීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ යානයේ නාසයට සවිකර ඇති ප්‍රබල 'ගැට්ලින්' වර්ගයේ කාලතුවක්කුවය.

මෙමගින් තත්පරයකට පතරොම් විශාල ප්‍රමාණයක් මුදාහරිමින් සතුරු ටැංකි සහ සන්නද්ධ රථ සුනුවිසුනු කර දැමීමට හැකියාව ලැබේ. ඒ10 යානය නිර්මාණය කර ඇත්තේ සතුරු ප්‍රහාර හමුවේ පවා නොවැටී සිටීමට හැකි අයුරින් ඉතාමත් සවිමත් ලෙසය. නියමුවාගේ ආරක්ෂාව වෙනුවෙන් 'ටයිටේනියම්' ලෝහයෙන් තැනූ කුටියක් මෙහි ඇති අතර, යානයේ එක් එන්ජිමක් හෝ වලිගයේ කොටසක් සතුරු ප්‍රහාරයකින් විනාශ වුවද ආරක්ෂිතව ගොඩබෑමට මෙයට හැකියාව තිබීම විස්මිතය. 

ඉතා සෙමින් සහ පහත් උසකදී පියාසර කළ හැකි බැවින්, යුද බිමේ සිටින සතුරු ඉලක්ක ඉතා පැහැදිලිව හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමට ඒ-10 යානයට ඇති හැකියාව වෙනත් කිසිදු නවීන ජෙට් යානයකට සම කළ නොහැකිය. සතුරු ප්‍රහාරයකදී, ප්‍රහාරක යානයක් ඉන් බේරීම සඳහා ප්‍රධාන වශයෙන් 'චැෆ්' (Chaff) සහ 'ෆ්ලෙයාර්ස්' (Flares) යන උපක්‍රම භාවිත කරයි. 

රේඩාර් මගින් මෙහෙයවන මිසයිල මඟහැරීමට, ප්‍රහාරක යානා කුඩා ලෝහමය කෙඳි අඩංගු චැෆ් වලාකුළක් ගුවනට මුදාහරින අතර, එමගින් මිසයිලයේ රේඩාර් පද්ධතිය ව්‍යාකූල වී එය පුපුරා යයි. ප්‍රහාරක යානය බේරෙයි. ප්‍රහාරක යානයේ එන්ජිමේ තාපය ඉලක්ක කනර ගනිමින්, හඹා එන මිසයිල මුළා කිරීම සඳහා යානයෙන් අධික තාපයක් සහිත ගිනි පුපුරු වැනි ෆ්ලෙයාර්ස් පිටතට විදීමක් සිදු කරයි. 

එවිට සතුරු මිසයිලය යානය දෙසට නොව එම ගිනි පුපුරු දෙසට ගමන් කරන අතර, ඒ අතරතුර නියමුවා ඉතා වේගවත් ගුවන් හැසිරවීම් මගින් යානය ප්‍රහාරක කලාපයෙන් ඉවතට රැගෙන යයි. සතුරු මිසයිල ප්‍රහාරයකින් ප්‍රහාරක ජෙට් යානය දැඩි ලෙස හානියට පත්වී එය තවදුරටත් පාලනය කළ නොහැකි අවස්ථාවකදී නියමුවා දිවි ගලවා ගැනීම සඳහා විදින අසුන (Ejection Seat) ක්‍රියාත්මක කරයි.

 මෙහිදී නියමුවා අදාළ ලීවරය ක්‍රියාත්මක කළ සැණින් යානයේ ඉහළ වීදුරු ආවරණය ඉවත් වන අතර, අසුනට සවි කර ඇති රොකට් මෝටරයක් මගින් ඉතාමත් ප්‍රබල වේගයකින් නියමුවා සමඟ අසුන යානයෙන් ඉහළට විදිනු ලබයි. මෙම ක්‍රියාවලිය තත්පරයකටත් අඩු කාලයකදී සිදුවන අතර, ආරක්ෂිත උසකට පැමිණි පසු අසුන නියමුවාගෙන් වෙන්වී ස්වයංක්‍රීයව පැරෂුටය දිගහැරීමෙන් නියමුවාට පොළොවට පතිත වීමට අවස්ථාව සැලසෙයි. මෙය නියමුවාගේ ජීවිතය බේරාගන්නා අවසන් සහ තීරණාත්මක පියවරයි. 

ඇමෙරිකන් ග්‍රවන් නියමුවන් යානයෙන් පිටතට පැන ගත්තේ මේ ආකාරයටය. පිටතට විසිවන අසුනේ හසුකර ගැනීමේ උපාංගයක් ඇත. සෝදිසි මෙහෙයුම් සිදුවන්නේ අසුනෙන් නිකුත් වන සංඥා අනුව යමිනි. ඉරානයට එරෙහිව ඇමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 

ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, යුද, ගුවන්, නාවික හා මැරීන් යන අංශවල ඇමෙරිකන් සෙබළු 365ක් මෙසේ තුවාල ලබා ඇති බවය. එයින් ද වැඩි පිරිසක් තුවාල ලබා ඇත්තේ යුද හමුදා භටයන් වන අතර, එම සංඛ්‍යාව 247 කි. නාවික සෙබළුන් 63ක්, ගුවන් සෙබළුන් 36ක් සහ මැරීන් සෙබළුන් 19ක් ලෙස තුවාල ලබා ඇති බව ද පෙන්ටගනය නිල වශයෙන් පවසා ඇත. 

යුද ගැටුම් හේතුවෙන් ඇමෙරිකානු සෙබළු 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මේ වනවිට දින 37 ක් ගත වී ඇත. ඊයේ (5) වෙද්දී, ඊශ්‍රායලය විසින් ඉරානයේ මහ්ෂහර් ඛනිජ රසායනික කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනකු මිය ගොස් තවත් 170 දෙනකු තුවාල ලැබූ බව වාර්තා විය.

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා බහරේනය පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ, ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරාන විප්ලවීය හමුදාව, ලෝක ආර්ථිකයට අතිශය තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ගෝලීය ඉන්ධන සැපයුමට දැඩි බලපෑම් එල්ල කරන බව පෙන්වා දෙමිණි. 

එක්සත් ජාතීන්ගේ බහරේන තානාපති ජමාල් අල්රෝවායි, ආරක්ෂක මණ්ඩලය හමුවේ පැහැදිලි කළේ, මුළු ලෝකයටම බලපෑම් එල්ල කරන ඉරානයේ මෙම ‘ආර්ථික ත්‍රස්තවාදය’ තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත්, හමුදාමය වශයෙන් මැදිහත් වී, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවය. බහරේනය මෙම විශේෂ යෝජනාව සකස් කර තිබුණේ ඇමෙරිකාව සමඟ එක් වී හවුලේය. මේ අවස්ථාවේ, ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය හොබවන්නේ බහරේනයයි. 

මේ සම්බන්ධයෙන්, සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය 3 වැනිදා සිකුරාදා දිනයේ හමුවී මේ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වීමට කියමිතව තිබුණි. කෙසේ නමුත්, එදින මහ සිකුරාදා වූ බැවින්, නිවාඩු දිනයක් ද වූ බැවින්, ඡන්ද විමසුම අවසන් මොහොතේ කල් දැමුණි. 

 බහරේනයේ යේජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසුමක් සිදුවූයේ 4 වැනිදා ය. මේවනවිට ඇමෙරිකා ඉරාන යුද්ධය මුල්කොට ගනිමින් ඇමෙරිකාව හුදෙකලාවීමකට ලක් වී ඇත. ඇමෙරිකාවේ නේටෝ මිතුරන් ඇමෙරිකාවට සහාය පළ කරමින් ඉරානය සමඟ යුද්ධයකට පැටලීම ප්‍රතික්ෂේප කර ඇත. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (United Nations Security Council - UNSC) යනු ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා පිහිටුවා ඇති ප්‍රධානතම ආයතනයයි. මෙහි සාමාජිකත්වය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ආරක්ෂක මණ්ඩලයේ සමස්ත සාමාජිකයන් ගණන 15 කි. නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, චීනය, රුසියාව සහ ප්‍රංශයයි. මේ නිත්‍ය සාමාජිකයන්ට නිෂේධ බලය හිමිවෙයි. 

මෙම රටවල් පහෙන් ඕනෑම එක් රටක් යම් යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් (Veto), අනෙක් සියලු රටවල් එකඟ වුවද එම යෝජනාව සම්මත කළ නොහැක. බහරේනය ඇමෙරිකාව ද හවුල් කර ගනිමින් ඉදිරිපත් කළ යෝජනාවට චීනය සහ රුසියාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරෝධය දැක්වීය. 

ඊට අමතරව ප්‍රංශය ද එම යෝජනාවට විරෝධය දැක්වීය. මෙය සුවිශේෂී සිදුවීමකි. හෝමූස් සමුද්‍ර විවෘත කිරීමට තමන්ට සහාය දෙන්නැයි ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෛාන්ගෙන් ඉල්ලා සිටියදී, සෙසු නේටෝ යුරෝපා නායකයන් සේම, මැක්රොන් ද ඊට අකමැති විය. 

මෙය ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වුණු අතර, ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මැක්රොන්ට අපහාස කළේ බිරිඳගෙන් ගුටිකන ජනාධිපති යැයි කියමිනි. මීට ප්‍රතිචාර වශයෙන් මැක්රොන් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා බොරු කයිවාරුකාරයකු බවත්, කියන්නේ කුමක්දැයි ඔහු හරිහැටි නොදන්නා බවත්ය. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසුමේ දී ප්‍රංශය සිය නිෂේධ බලය භාවිතයට ගැනීම මෙහි ප්‍රතිඵලයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.“හෝමූස් විවෘත කරන්න හමුදා බලය යෙදවීම විසඳුමක් නොවෙයි. එසේ කිරීම යථාර්ථවාදී නැහැ. හමුදාමය ක්‍රියාමාර්ගයකට යෑම කල්ගත වේවි. කාලය නාස්ති කිරීමක් වේවි. හෝමූස් හරහා ගමන් කරන අනෙක් සියලුම නෞකාවලටත් එය තර්ජනයක් වේවි. 

ඉරානය බැලැස්ටික් මිසයිලවලින් පහර දේවි.” ප්‍රංශ ජනාධිපතිවරයා ඡන්ද විමසුමෙන් පසු මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පෙන්වා දුන්නේය. මෙම ඡන්ද විමසුමට සමගාමීව ප්‍රංශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හෝමූස් හරහා යෑමට ඉරානය ඉඩ දුන්නේය. ඉරාන විප්ලවීය හමුදාව තරයේ පවසා ඇත්තේ තමන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත්තේ තමන්ට සතුරුකම් කරන ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට හිතවත් රටවලට පමණක් බවය. 

යුද ගැටුම් ආරම්භ වී ඉරාන විප්ලවීය හමුදාව හෝමූස් වසා දැමීමෙන් පසු ඒ හරහා ගිය පළමු ප්‍රංශ නෞකාව වන්නේ මෙම කන්ටේනර් නෞකාවය. ඉන්දීය, පාකිස්තාන, චීන සහ ජපන් තෙල් නෞකා මෙන්ම ගෑස් ප්‍රවාහන නෞකා ඇතුළු භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ද සමුද්‍ර සන්දිය හරහා යෑමට ඒමට ඉරාන විප්ලවීය හමුදාවේ අවසරය ලැබී ඇත. ජපානය පවසා ඇත්තේ එරටට අයත් තවත් නෞකා 45ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති බවය.

BBC ඇසුරිනි

Classified_Ad