මනෝජ් MasterChef කිරුළ දිනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 10, 2026

මනෝජ් MasterChef කිරුළ දිනයි

මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා පළමු වැඩසටහන් මාලාවේ, අවසන් මහා තරගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. එකිනෙකාට නොදෙවැනි දක්ෂ තරගකරුවන් අභිබවා යමින්, අවසන් මහා තරගය ජය ගැනීමට සමත් වූයේ සංජුල මනෝජ්ය. 

තරගාවලිය ආරම්භ වූ දා පටන් විවිධාකාරයේ අභියෝග හමුවේ මනෝජ් සිය දස්කම් පෙන්නුවේ, විනිසුරුවරුන් මවිත කරමිණි. ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර කලාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය පුරෝගාමියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ස්‍රප්‍රකට සූපවේදියකු මෙන්ම රූපවාහිනී තරුවක ද වන පීටර් කුරුවිට, සවින්ද්‍රි පෙරේරා, කපිල ජයසිංහ සහ රොහාන් ප්‍රනාන්දුපුල්ලේ ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කළහ. 

 මාස කිහිපයක් පුරා කවුරුත් කුතුහලයෙන් නැරැඹූ ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’ අවසන් මහා තරගය පෙරේදා (9) රාත්‍රියේ විකාශය විය. එහිදී සිය හැකියාව උපරිමයෙන් පෙන්වූ මනෝජ්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘මාස්ටර් චෙෆ්’ කිරුළ දිනා ගත්තේය. ඔහුට රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගයක් මෙන්ම අති නවිණ බීවයිඩී BYD මෝටර් රථයක් ද තෑගි වශයෙන් හිමිවිය. 

තියුණු තරඟකාරිත්වයක් මෙන්ම හැඟීම්බර අවස්ථාවලින් පිරුණු අවසන් මහා තරගය කාගේත් ප්‍රසාදයට හිමිවිය. තරඟාවලිය පුරාම ස්ථාවර දක්ෂතා පෙන්වමින් කැපී පෙනුණු හසලක තරුණයකු වන මනෝජ්, දේශීය ආහාර වට්ටෝරු, නිර්මාණශීලීව නව්‍යකරණය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිරිපත් කිරීම සුවිශේෂී විය. 
විනිසුරුවරුන් වූ පීටර් කුරුවිට, සවින්ද්‍රි පෙරේරා, කපිල ජයසිංහ සහ රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන ප්‍රවීණ විනිසුරු මඩුල්ලේ දැඩි පරීක්ෂාවට ලක් වූ මනෝජ්ගේ සෑම ආහාර පිඟානක්ම සුවිශේෂී වියත විනිසුරුවරුන් මවිත කිරීමට මනෝජ් අවස්ථා කීපයකදී සමත් විය. 

අවසන් වටයේ දී වැඩි ලකුණු දිනා ගනිමින්, මනෝජ් සෙසු තරගකරුවන් වූ මරියා සහ සංදීප අභිබවා යමින් ජයග්‍රහණය කළේ ඒ අනුවය. අවසන් මහා තරගයේ දී මරියා දෙවැනි ස්ථානයත්, සංදීප තෙවැනි ස්ථානයත් දිනා ගත්හ. 

අවසන් තරගය නැරඹීමට මනෝජ්, මරීයා සහ සන්දීපගේ පවුලේ සාමාජිකයන් ද පැමිණ සිටියහ. මනෝජ්ගේ මව පුතුගේ ජයග්‍රහණයත් සමග අතිශය සංවේදී වූවාය. ‘හෙළ රසැති පිරිපත’ (Sri Lanka on a Plate) යන තේමාව යටතේ පැවැත්වුණු ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’ තරඟාවලිය, අප රටේ ආහාර සංස්කෘතිය ලොවටම ප්‍රදර්ශනය කළ මංපෙතක් විය. 

රියැලටි ටීවී ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනය කර ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’, ජාත්‍යන්තර මාස්ටර් චෙෆ් ප්‍රමිතීන් මෙරටට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව වෙයි. ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මනෝජ්, රටවල් 70කට අධික සංඛ්‍යාවක විකාශය වන ගෝලීය මාස්ටර් චෙෆ් පවුලේ සාමාජිකයකු බවට පත් වීම ද විශේෂත්වයකි. 

පළමු අදියරේ අතිසාර්ථක නිමාවත් සමඟම, දෙවැනි අදියර (සීසන් 2) සඳහා වන මූලික කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇතැයි පැවැසෙයි. ශ්‍රී ලංකාවේ මීළඟ සූපශාස්ත්‍ර තරුව සොයා යන ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’ ඉදිරියේ දී සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වනු ඇත. 

Classified_Ad