රන් පදක්කම් 16 යි: දිවයිනේ අංක 1 - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 12, 2026

රන් පදක්කම් 16 යි: දිවයිනේ අංක 1

2025 වසර සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 16ක් දිනාගනිමින්, කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා දිවයිනේ අංක 1 උපාධිධාරිනිය බවට පත්වීමට සමත් වූවාය. ඊට අමතරව ඇය, මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි අධ්‍යාපනික විශිෂ්ටතා සම්මානය ද හිමිකර ගැනීම විශේෂත්වයකි. 

2018 උසස් පෙළ කණ්ඩායමේ ප්‍රමුඛතම සිසුවිය වූ ඇය, සියලුම MBBS විෂය ධාරා සඳහා ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ ලබා ගත්තාය. එමෙන්ම, වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් සඳහා වූ දිවයින පුරා කුසලතා ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ද ඇය හිමිකර ගත්තාය. 

ඇයගේ අතිවිශිෂ්ට අධ්‍යාපනික දක්ෂතාව තවදුරටත් සනාථ කරමින්, එම්.බී.බී.එස්. උපාධිය සඳහා පිරිනැමුණු රන් පදක්කම් 32න් 16ක්ම ඇය විසින් දිනාගෙන තිබේ. මීට අමතරව, පීඨාධිපතිගේ ගෞරව ලැයිස්තු සම්මාන කිහිපයක් සහ Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වය ද ඇයට හිමිව ඇත. 

වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති ඇය, පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කර ඇති අතර විද්‍යාත්මක සමුළු කිහිපයකදී ද තම පර්යේෂණ ඉදිරිපත් කර ඇත. මේ වන විටත් ඇය ඩෙංගු සහ අන්තර්ස්ථ පෙනහළු රෝග පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි.

Classified_Ad