
ඒත් දැන්, නවතම පර්යේෂණයකට අනුව, මේ කතාව වැරදි යැයි විද්‍යාඥයෝ කියති. මිනිස් මොළය පිළිබඳව සිදු කරන ලද නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, මිනිස් මොළය යනු සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කොටස් දෙකක්, එකිනෙකට ළංවී, හිරවී, නිර්මාණය වූවක් බවත් එය ඇත්තටම එක මොළයක් නොව, මොළ දෙකක් බවය.
මුලින් අපි පොදුවේ මොළය සෑදී ඇත්තේ කෙසේද සහ එය ශරීරය තුළ ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු. මිනිස් ශරීරයේ වඩාත්ම සංකීර්ණ සහ ප්‍රධානම අවයවය වන මොළය, සිතුවිලි, හැඟීම්, මතකය පමණක් නොව, අප දැනුවත්ව සහ අප නොදැනුවත්ව අපගේ ශරීරයේ සියලු ක්‍රියාවන් පාලනය කරයි. ඉහත සඳහන් කළ ආකාරයටම, මොළය යනු සිරුරේ පාලක මධ්‍යස්ථානයයි.
වෛද්‍ය විද්‍යාවට අනුව, මොළයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය ඉතා සරලව පැහැදිලි කළොත්, එය කොටස් තුනකි. මහ මොළය (Cerebrum), කුඩා මොළය (Cerebellum) සහ මොළයේ කඳ (Brainstem) යනු එම කොටස් තුනය. මීට අමතරව, මොළය තුළ අප හැඟීම් පාලනය කරන ලිම්බික් පද්ධතිය (Limbic system) සහ ශරීරයේ හෝමෝන නියාමනය කරන හයිපොතලමස (Hypothalamus) ආදී අභ්‍යන්තර කොටස් ද පිහිටයි.
මේවායින් ද ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු වෙයි.
අපේ මොළය, එකක් නොවන, දෙකක් යැයි පවසන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දක්ෂ විද්‍යාඥයන් පිරිසකි. ඔවුන් මෙසේ පවසන්නේ, වසර ගණනක් තිස්සේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසය.
මෙම විස්මිත සොයා ගැනීමත් සමඟ, මෙතෙක් නිසි ප්‍රතිකාරයක් නොමැති බරපතල ස්නායුගත රෝග රැසකට නව සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට අනාගතයේදී හැකිවනු ඇතැයි ද දැඩි විශ්වාසයක් පැවැසෙයි.
පසු මොළය (Hindbrain) යනු කලල අවස්ථාවේදී, මවු කුසේ සිටිද්දී මුලින්ම නිර්මාණය වන කොටසයි.
ශරීරයේ අත්‍යවශ්‍ය ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මෙම පසු මොළය මගිනි. හුස්ම ගැනීම, නිදාගැනීම සහ හෘද ස්පන්දනය නියාමනය කිරීම වැනි අප ජීවත් කරවීමට අත්‍යවශ්‍ය මූලික කාර්යයන් සියල්ල සිදුවන්නේ පසු මොළයෙනි.
ඉදිරි මොළය (Forebrain) සහ මොළයේ මැද කොටස (Midbrain) ද වැදගත් වෙයි. කලල අවදියේ දී මොළයේ ඉදිරිපසින් නිර්මාණය වන කොටස ඉදිරි මොළය වෙයි.
මෙය වර්ධන වී සෑදෙන ප්‍රධාන ව්‍යුහය මහ මොළයයි. අප හිතන දේ, අප කතා කරන දේ අපේ භාෂා හැකියාව, තර්ක කිරීමේ හැකියාව සහ උසස් මානසික ක්‍රියාකාරකම්; සරලව කිව්වොත් අපේ ‘සිහි කල්පනාව’ හැසිරවීම සිදු කරන්නේ ඉදිරි මොළය සහ මොළයේ මැද කොටසය.
ස්ටැන්ෆර්ඩ් විද්‍යාඥයන්, ඔවුන්ගේ නවතම පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ මවු කුසේ දී කලල අවස්ථාවේදී වෙන් වෙන්ම, සම්පූර්ණයෙන් වෙනස් ඉන්ද්‍රියයන් දෙකක් ලෙස නිර්මාණය වන මොළය, අප වැඩෙද්දී, වර්ධනය වී, එකට හිරවී, එක් මොළයක් ලෙස පෙනෙන බවය.
ඒත් ඇත්තටම එය එකිනෙකට ස්ම්පූර්ණයෙන් වෙනස් ඉන්ද්‍රීයයන් දෙකකි.
පරිණාම ඉතිහාසයේ, මිලියන ගණනකට පෙර යම් දිනෙක, මෙය පැහැදිලිව පෙනෙන ලෙස මොළ දෙකක් ලෙස පිහිටන්න ඇති බවත්, මානව පරිණාමයත් සමග දැන් එය එකට හිරවුණු එක් මොළයක් වී ඇති බවත් මෙම අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාඥ ආචාර්ය කයිල් ලෝ පැහැදිලි කරයි.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි