ත්‍රිමාන ගෝලාකාර පෘථිවි පෘෂ්ඨය, ද්විමාන පැතලි තලයක් මත සිතුවම් කිරීම පහසු කටයුත්තක් නොවෙයි. අප එය මුලින්ම වටහා ගත යුතුය. එසේ කිරීමේ දී යම් තාක්ෂණික හෝ භූගෝලීය විකෘතිතාවක් සිදු වීම ගණිතමය වශයෙන් වැළැක්විය නොහැකි නියතියකි.
1569 දී, එවකට ප්‍රකට ෆ්ලැන්ඩර්ස් ජාතික (ෆ්ලැන්ඩර්ස් යනු වර්තමානයේ බෙල්ජියමය. ෆ්ලැන්ඩර්ස් යන නම භාවිතයට ගැනෙද්දී ෆ්ලැන්ඩර්ස් වැසියන් හැඳින්වූයේ ෆ්ලෙමිෂ් යනුවෙනි.) සිතියම් නිර්මාණකරු ජෙරාඩස් මර්කේටර්, ‘මර්කේටර් ප්‍රක්ෂේපණය’ නමැති ලෝක සිතියම ලෝකයට ඉදිරිපත් කළේ එදා සාගරයේ නාවික කටයුතුවල යෙදී සිටි යුරෝපීය ගවේෂකයන්ගේ ගමන් මාර්ග සරල කර ගැනීමේ අරමුණින්ය. සිතියම මත අඳින ලද සෘජු රේඛා ඔස්සේ නෞකාවක මාලිමා ඡේදනය තබා ගනිමින් යාත්‍රා කිරීමට හැකිවීම මෙම සිතියමේ ප්‍රධානතම වාසිය විය.
පසුකාලීනව, මෙම සිතියම, බටහිර ලෝක බලවතුන් විසින් සම්මතයක් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස, මර්කේටර්ගේ ආකෘතිය නැතිනම් ඔහු නිර්මාණය කළ සිතියම ලොව පුරා පාසල් පන්ති කාමර, විශ්වවිද්‍යාල, පෙළපොත්, මාධ්‍ය ආයතන සහ ලේඛන සඳහා නිල ලෝක සිතියම බවට පත් විය.
කෙසේ නමුත්, නාවික කටයුතුවලදී කෝණ සහ දිශා නිවැරදිභාවය තබා ගැනීම සඳහා මර්කේටර් සිතියම නිර්මාණයේ දී කළ ගණිතමය සැකසුම හේතුවෙන් පෘථිවියේ රටවල් සහ මහද්වීපවල භූමි ප්‍රමාණ බරපතල ලෙස විකෘති විය.
සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දී, සිතියම මඟින් රටවල වර්ගඵලය අසමානුපාතික ලෙස විශාල කර පෙන්වීමක් සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උත්තර සහ දක්ෂිණ ධ්‍රැවාසන්නයේ පිහිටි යුරෝපය, උතුරු ඇමෙරිකාව, රුසියාව සහ ග්‍රීන්ලන්තය වැනි භූගෝලීය කලාප සැබෑ ප්‍රමාණයට වඩා අතිශය විශාලව සිතියම්ගත වූ අතර, සමකය ආසන්නයේ පිහිටි අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව වැනි කලාපවල සැබෑ විශාලත්වය හැකිළීමකට ලක් විය.
සිතියම් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, මර්කේටර් ලෝක සිතියමේ ග්‍රීන්ලන්තය සහ අප්‍රිකා මහද්වීපය ප්‍රමාණයෙන් එක හා සමානව දකින්න ලැබුණ ද භෞතික පෘථිවි තලය මත අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය. ග්‍රීන්ලන්තයේ සැබෑ භූමිප්‍රමාණය අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයටත් වඩා කුඩාය. එපමණක් නොව, සිතියමේ අතිවිශාල ලෙස පෙනෙන රුසියාව ද අප්‍රිකා මහද්වීපය හමුවේ ලිලිපුට්ටෙකි.
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, ජපානය සහ සමස්ත යුරෝපයේම රටවල් සියල්ල එකතු කළ ද අප්‍රිකානු මහද්වීපයේ සමස්ත වර්ගඵලයට සම කළ නොහැක.
කෙසේ නමුත්, භූගෝලීය දත්ත සම්බන්ධයෙන් සිදුවූ මෙම විකෘතිය හුදෙක් සිතියම් ශිල්පයේ පැවැති තාක්ෂණික ගැටලුවක් පමණක් යැයි අර්ථකථනය කිරීමට භූගෝල විද්‍යාඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ සූදානම් නොවෙති.
ඊට අපූරු හේතුවක් ඇත. සියවස් ගණනාවක් පුරා ලෝක ජනගහනයෙන් බහුතරය ලෝකය පිළිබඳ අවබෝධය ලබාගත්තේ මෙම විකෘති සිතියම දෙස බැලීමෙනි. බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් තම දේශපාලනික, ආර්ථික සහ මානසික ආධිපත්‍යය ලොව පුරා තහවුරු කිරීම සඳහා මෙම සිතියම ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කළ බව අද වන විට පිළිගැනෙන සත්‍යයයි.
තම රටවල් සිතියමේ අතිවිශාල ලෙසත්, තමන් යටත් කරගත් ආසියානු සහ අප්‍රිකානු ජාතීන්ගේ රටවල් නැතිනම් භූමීන් කුඩාවටත් නිරූපණය කිරීමෙන්, යටත්විජිත වැසියන් තුළ පහත් හැඟීමක් සහ යටහත්පහත්භාවයක් ඇති කිරීමට නොදැනුවත්වම මනෝවිද්‍යාත්මක පදනමක් සකස් කෙරුණි.
භූගෝල විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා තුළ මෙම ක්‍රියාවලිය ‘සිතියම්කරණ යටත්විජිතවාදය’ ලෙස හඳුන්වනු ලබයි. සිතියමක් යනු හුදෙක් ගෝලයක පැතලි සටහනක් පමණක් නොව, එය බලය, දේශපාලනය සහ මතවාදයන් නිරූපණය කරන ප්‍රබල සංකේතයක් බව මේ අනුව පැහැදිලි වෙයි.
මර්කේටර් ලෝක සිතියමේ දකින්න ලැබෙන මෙම ‘සාපේක්ෂ අසමානතාව’ පිළිබඳව විවේචන මතුවූයේ අද ඊයේ නොවෙයි.
ජර්මන් ජාතික ඉතිහාසඥ ආර්නෝ පීටර්ස්, 1970 දී 'ගෝල්-පීටර්ස් ප්‍රක්ෂේපණය' නමැති සිතියම් ආකෘතිය ඉදිරිපත් කරමින්, මර්කේටර් සිතියම මඟින් සිදුවන යුරෝපීය ආධිපත්‍යය විවේචනය කිරීමට පටන් ගත්තේය.
සෑම රටකම සැබෑ වර්ගඵලය නිවැරදිව පෙන්වීම අරමුණු කරගත් එම සිතියම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ පල්ලිය ආශ්‍රිත පුණ්‍යායතනවල අවධානයට ලක්වුවද, එහි පැවැති තාක්ෂණික දෝෂ කීපයක් හේතුවෙන් එය ගෝලීය සිතියම් විද්‍යාඥයන්ගේ පූර්ණ පිළිගැනීමට ලක් වූයේ නැත.
ගෝල්-පීටර්ස් සිතියම තුළ වර්ගඵලය නිවැරදි වුවද, සමකයට ආසන්න රටවල හැඩතල සිරස් අතට දැඩි ලෙස ඇදී ගොස් විකෘති වීම ඊට හේතුවය. එහි ප්‍රතිඵලයක් ලෙස, භූමිප්‍රමාණයේ නිවැරදිභාවය මෙන්ම රටවල භෞතික හැඩතලවල සුන්දරත්වය සහ යථාර්ථවාදී බවද ආරක්ෂා වන නව සිතියම් ආකෘතියක අවශ්‍යතාව සිතියම් විද්‍යා ලෝකය තුළ දිගින් දිගටම පවතින සංවාදයක් බවට පත්විය.
2018 දී, සිතියම් විද්‍යාඥයන් වන බෝජන් ෂාව්රිච්, ටොම් පැටර්සන් සහ බර්නාඩ් ජෙනී එක් වී ‘සමාන පෘථිවි ප්‍රක්ෂේපණය’ නමැති නව ලෝක සිතියම් ආකෘතිය නිර්මාණය කරන ලදී.
මෙම ප්‍රක්ෂේපණ ක්‍රමය මඟින් ලෝකයේ සෑම රටකම සහ මහද්වීපයකම සැබෑ වර්ගඵල එකිනෙකට සාපේක්ෂව සියයට සියයක්ම නිවැරදිව පෙන්වයි. එමෙන්ම, මීට පෙර පැවැති ගෝල්-පීටර්ස් සිතියමේ තිබූ රටවල හැඩතල විකෘති වීමේ දෝෂය මඟහරවා ගනිමින්, මහද්වීපවල ස්වාභාවික හැඩය ඉතා මැනවින් ආරක්ෂා කිරීමට මොවුන් සමත් වූහ.
සිතියම් විද්‍යා ඉතිහාසයේ විප්ලවීය සන්ධිස්ථානයක් ලෙස සැලකෙන මෙම ‘සමාන පෘථිවි සිතියම’ නූතන පරිගණක ගණිතමය ආකෘති පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. මර්කේටර් ලෝක සිතියමෙන් සිදුවුණු විකෘතිය එමගින් නිවැරදි කෙරේ.
2018 දී නිර්මාණය වූ ‘සමාන පෘථිවි සිතියම’ මගින් භූගෝලීය නිවැරදිභාවය උදෙසා තාක්ෂණික විසඳුම ලැබුණ ද, එය ගෝලීය දේශපාලන තලයේ සම්මතයක් බවට පත්වීම සඳහා තවත් වසර කිහිපයක් ගතවිය.
භූගෝලීය අසමානතාවයෙන් වැඩිම පීඩාවට පත්ව සිටි අප්‍රිකානු ජාතීන් එකතු වී ‘ලෝක සිතියම නිවැරදි කරමු’ යනුවෙන් දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය පෙබරවාරි මාසයේ අප්‍රිකා සංගමයේ සාමාජික රටවල් 54 නිල වශයෙන් මෙම ‘සමාන පෘථිවි සිතියම’ සම්මත ලෝක සිතියම ලෙස පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, අප්‍රිකානු මහද්වීපයේ බටහිර වෙරළේ පිහිටි කුඩා ටෝගෝ රාජ්‍යය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, සියවස් ගණනාවක් තිස්සේ ලෝකය නොමඟ යැවූ මර්කේටර් සිතියම වෙනුවට මෙම නිවැරදි ‘සමාන පෘථිවි සිතියම’ සියලු අන්තර්ජාතික කටයුතු සහ අධ්‍යාපන පද්ධතීන් සඳහා භාවිතයට ගන්නා ලෙසය.
ඉකුත් 4 වැනිදා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, ‘සමාන පෘථිවි සිතියම’ භාවිතයට ගනිමු යැයි ටෝගෝ රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව, රටවල් 164 ක් ඡන්දය ප්‍රකාශ කළේය.
එම රටවල් අතරේ, පැරණි යටත්විජිත බලවතුන් වූ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් රැසක්ද ඒ අතර සිටීම විශේෂත්වයකි. රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි.
වැඩි ඡන්දයෙන් යෝජනාව සම්මත වීමත් සමඟ, සියවස් පහකට පසුව ලෝක සිතියම නිල වශයෙන් නිවැරදි කිරීමේ ගෝලීය ක්‍රියාවලිය ආරම්භ විය. එසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම වෙනස සිදු කිරීමට කාටවත් නීතිමය වශයෙන් බල කිරීමක් කරන්නේ නැත. මෙය ගෝලීය සමාජයට ඉදිරිපත් කරන ලද යුක්තිසහගත සහ විද්‍යාත්මක මාර්ගෝපදේශනයක් පමණි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි

