අප දිව මත ජීවත්වන බැක්ටීරියා සහ මොළය මගින් තොරතුරු සැකසීමේ වේගය අතර රසවත් සබඳතාවක් පවතින බව බටහිර විද්යාඥයෝ පවසති. එක්සත් රාජධානියේ සහ බෙල්ජියමේ නිරෝගී පුද්ගලයන් 60 දෙනකු සම්බන්ධ කර ගනිමින්, එක්සෙටර් සහ බ්රසල්ස් විශ්වවිද්යාලවල විද්යාඥයන් විසින් සිදු කළ නවතම අධ්යයනයකින් මේ බව අනාවරණය වී ඇතැයි පැවැසෙයි.
එම අධ්යයනයට අනුව, විද්යාඥයන් පෙන්වා දෙන්නේ, දිව මත ජීවත් වන ඇතැම් බැක්ටීරියා විශේෂවල වැඩිවීම හෝ අඩුවීම, පුද්ගලයකුගේ මතක ශක්තිය, අවධානය යොමු කරන ආකාරය සහ මොළයේ ක්රියාකාරීත්වයේ වේගය කෙරෙහි බලපෑමක් ඇති කරන බවය.
මෙම දිව මත ජීවත්වන බැක්ටීරියා සහ මොළය මගින් තොරතුරු සැකසීම අතර සබඳතාව පසුපස ඇති ප්රධාන විද්යාත්මක හේතුව ගන්නා ආහාරවල ඇති නයිට්රේට් නමැති රසායනිකයයි. උදාහරණයක් ලෙස, අප බීට්රූට් ආහාරයට ගනිද්දී විට, එහි ඇති නයිට්රේට් රුධිරයට එකතු වී, රුධිරය හරහා නැවත අපේ මුවට පැමිණෙයි.
එහිදී දිව මත සිටින විශේෂිත බැක්ටීරියා මගින් මෙම නයිට්රේට්, 'නයිට්රික් ඔක්සයිඩ්' (Nitric Oxide) නැමැති සංයෝගය සෑදීමට උපකාරී වන ද්රව්ය බවට පරිවර්තනය කරයි. නයිට්රික් ඔක්සයිඩ් මගින් සිරුරේ රුධිර නාළ පුළුල් කර රුධිර ධාවනය පහසු කරවන අතර, එමගින් මොළයේ ක්රියාකාරීත්වයට ද යම් උත්තේජනයක් ලබා දීම සිදුවෙයි.
මෙම අධ්යයනයට සම්බන්ධ කර ගත්, තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගෙන් දිවෙන් ලබාගත් සාම්පල පරික්ෂා කිරීමේදී, ප්රෙවොටෙලා හිස්ටිකෝලා (Prevotella histicola) නැමැති බැක්ටීරියාව වැඩිපුර සිටි පුද්ගලයන්, යම් යම් බුද්ධි පරීක්ෂණවලදී ඉතා වේගවත්ව ප්රතිචාර දැක්වූ බව සොයාගන්නා ලදී. විදුරුමස් රෝග සම්බන්ධ බැක්ටීරියා අධ්යයනයට සම්බන්ධ කර ගත් වැඩිහිටියන්ගේ මුව තුළ වැඩිපුර දක්නට ලැබුණු අතර, වයසට යෑම සාමාන්යයෙන් මොළයේ ක්රියාකාරීත්වයේ වේගය අඩුවීමට ප්රධාන හේතුවක් ලෙස නැවතත් තහවුරු විය.
එසේ වුවත්, එක්තරා බැක්ටීරියාවක් වැඩිපුර තිබූ පමණින්ම කෙනකුගේ බුද්ධිමය හැකියාව එක ලෙස ඉහළ යන්නේ නැති බවද, විවිධ රටවල ජනතාවගේ මුව තුළ ඇති බැක්ටීරියා ප්රජාව එකිනෙකට වෙනස් වන බවද මෙහිදී නිරීක්ෂණය වූ බව පැවැසෙයි.
මෙම අධ්යයනය තවමත් මූලික මට්ටමේ පවතින බැවින්, මුව තුළ සිටින බැක්ටීරියා වෙනස් කිරීමෙන් පමණක්ම මතක ශක්තිය වර්ධනය කරගැනීමට හෝ ඩිමෙන්ෂියා වැනි රෝග වළක්වා ගැනීමට හැකි යැයි එක එල්ලේ නිගමනය කළ නොහැකි යැයි ද විද්යාඥයෝ පැහැදිලි කරති.
පුද්ගලයන්ගේ ආහාර රටාව, ව්යායාම සහ නින්ද වැනි කරුණු ද දිව මත ඇති බැක්ටීරියාවලට මෙන්ම මොළයේ ක්රියාකාරීත්වයට එකසේ බලපායි. ඒ අනුව, දිව මත සිටින ක්ෂුද්රජීවීන් මොළයේ පැවැත්මට සෘජුවම බලපාන්නේද, නැතහොත් වෙනත් සෞඛ්යමය හේතුවක් නිසා මේ දෙක අතර සබඳතාවක් පෙන්නුම් කරන්නේද යන්න තහවුරු කරගැනීමට ඉදිරියේදී වඩාත් පුළුල් අධ්යයන සිදුකිරීමට නියමිතය.
විද්යාත්මකව බැලූ විට, දිව යනු අපගේ මුඛ කුහරය තුළ පිහිටා ඇති, ස්නායු හා රුධිර නාළවලින් පිරි සංකීර්ණ පේශිමය අවයවයකි. ආහාර රස විඳීම, හපන ලද ආහාර ගිලීමට උපකාර කිරීම සහ පැහැදිලි ලෙස වචන උච්චාරණය කරමින් කතා කිරීම එහි ප්රධාන කාර්යයන් ලෙස අප හඳුනාගෙන තිබුණි.
එහෙත්, මතුපිටින් කුඩා නෙරුම් (Papillae) දහස් ගණනකින් සමන්විත මෙම අද්විතීය අවයවය, කෝටි සංඛ්යාත ප්රයෝජනවත් ක්ෂුද්රජීවීන් උදෙසා ආරක්ෂිත නිවහනක් සපයන ජීව විද්යාත්මක පද්ධතියක් ද වේ. එම ක්ෂුද්රජීවී ප්රජාව අපගේ මුඛ සෞඛ්යය සුරැකීමට පමණක් නොව, මුළු සිරුරේම සහ මොළයේ යහපැවැත්මට ද නොසිතන අයුරින් දායක වන බව මෙවැනි නවතම පර්යේෂණවලින් වැඩිදුරටත් තහවුරු වෙමින් පවතී.
ලුසිත ජයමාන්න
Science Alart ඇසුරිනි
