ආසාදිතයෝ මිලියන 20 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2021

ආසාදිතයෝ මිලියන 20 ක්

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයෝ මිලියන 20 ක්: එන්නත් ගන්නත් දිගු පෝළිම්

නව වසර උදාවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කළේය. පෙරේදා (2) වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 20,780,000 ක් විය. 

සමස්ත මරණ වාර්තා වූයේ 3,56,500 ක් ලෙසය. ලොව වැඩිම ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ තවමත් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පරිදි, හදිසි අවස්ථාවක් සේ සලකා, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ එරට වැසියන්ට ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දෙයි. 

ඒ, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්ය.‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් ලබා දීම ආරම්භ කෙරුණේ පසුගිය දෙසැම්බරයේය. ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මෙම ජනවාරි මස අවසන් වනවිට එරට වැසියන් මිලියන 20 කට එන්නත් ලබා දීමට නියමිතව ඇත.

පළමු අදියර යටතේ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවක සේවකයන්, දේශපාලනඥයන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට එන්නත් ලබා දීම සිදුවිය. 

ලබන 12 වැනිදා ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩන් ‘ෆයිසර්’ එන්නත ලබා ගෙන ඇති අතර, උප ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත කමලා හැරිස් ‘මොඩර්නා’ එන්නත ලබා ගෙන ඇත. 

සාමාන්‍ය වැසියන්ට එන්නත ලබා දීම පසුගිය පළමු වැනිදා සිට ආරම්භ වුණු අතර, නගර රැසක එන්නත් ලබා දීම සිදුකරන රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවල දිගු පෝලිම් දකින්න ලැබුණු බව ද පැවැසෙයි. 

කෙසේ නමුත් ඇමෙරිකානු කළු ජාතිකයන්ගෙන් වැඩි දෙනා එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුවය. 

ඊට පෙර, ඕනෑම අයකුට වයිරසය ආසාදනය වීමට ඉඩක් පවතින අතර, පළමු එන්නත ලබා ගත් ඇමෙරිකන් හෙදියකට වයිරසය ආසාදනය වූ බවත් පසුගිය දා අසන්න ලැබුණි. 

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවීම කළේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුලේය. මෙම එන්නත හදිසි අවස්ථාවක් සේ සලකා කොරෝනා වයිරසය අඩපණ කිරීමට ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර තිබේ.

(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom