ඇසෑම් ප්‍රාන්තය ඇත්තේ ඊසානදිග ඉන්දියාවේ ය.
ඇසෑමයේ විශාලතම නගරය ගුවහාති වන නමුත් අගනුවර වන්නේ දිස්පූර් ය. ඇසෑමයේ ජනගහනය මිලියන 31 කට වැඩිය. දිස්ත්‍රික්ක 33 කින් සමන්විත ය.
ඊසානදිග ඉන්දියාවේ පිහිටි ඇසෑමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි.
තේ කර්මාන්තයට ද ප්‍රකටය.
ඒ සියල්ලටම වඩා ඇසෑමය ප්‍රකට වන්නේ, වනෝද්‍යාන, උද්භිත උද්‍යාන සහ වන ජීවීන් නිසාය. ඇසෑමයේ සංචාරයක යෙදෙන්නේ නම්,‘කාසිරංග’ ජාතික වනෝද්‍යානය නැරැඹීමට ඔබ යා යුතුමය.
බ්‍රහ්මපුත්‍ර නදියට මැදිවුණු වර්ග කිලෝ මීටර් 430 කින් සමන්විත මෙම වනෝද්‍යානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඉන්දියාවට පමණක් ආවේණික රයිනෝ සතුන් සහ ව්‍යාඝ්‍රයන් නිසා ය. ‘කාසිරංග’ වනෝද්‍යානයෙන් ඇසෙන විස්මිත ‘වනකතා’වල ද අඩුවක් නැත.
මෙම සටහනට පාදක වන්නේ ඉන්දියාවේ ‘ද වීක්’ ඉන්දීය සඟරාවෙන් උපුටා ගත් එවැනි ‘වනකතා’ කීපයකි.
ව්‍යාඝ්‍රයකු සහ මුවකු එක ළඟ තැබුවොත් මොකද වෙන්නේ ?
ව්‍යාඝ්‍රයා මුවා මරා ආහාරයට ගන්නවා නිසැකය. එහෙත්, ‘කැළයේ නීතිය’ හරි පුදුමාකාරය. මාංශභක්ෂක සතුන් වන ව්‍යාඝ්‍රයන්, දිවියන්, සිංහයන් ආදිය දඩයම් කරන්නේ කුසගින්න නිවා ගැනීමට පමණි. මෙවැනි විලෝපිකයන්, නිකරුණේ සතුන් මරන්නේ නැත.
මෝසම් වැසි ඇද හැලෙමින් බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගලන්නේ කාසිරංග වනාන්තරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට කරමිණි. රුදුරු ජල පහර සත්තු බිලිවෙති.
මීට පිළියමක් ලෙස වනජීවී නිලධාරීන් ලෑලි භාවිත කරමින්, වහලයකින් ද සමන්විත උස් වේදිකා ඉදි කර තිබේ. ඒ සතුන්ගේ ආරක්ෂාව සඳහාය. මහ වැස්සෙන් බේරී, එසේ ඉදි කළ ලෑලි වේදිකාවකට ගොඩවුණු ව්‍යාඝ්‍රයකු සහ මුව පොව්වකු කාසිරංග වනජීවී නිලධාරීන්ට දකින්න ලැබී ඇත.
‘සමහරවිට ව්‍යාඝ්‍රයා ඉන්න ඇත්තේ කුසගින්නේ. ඒත් ඌ තෙතබරිතව බියෙන් වේවලමින් සිටි මුවාට අනතුරක් කළේ නැහැ. වැස්ස පායනකල් දෙන්නා වේදිකාවේ තැන් දෙකක ගුලිවෙලා සිටියා. එම දසුන් දකින්න නොලැබුණා නම්, එහෙම දෙයක් කීයටවත් අප විශ්වාස කරන්නේ නැහැ’ යැයි වනජීවී නිලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.‘
කාසිරංග ඇතෙක් සංචාරකයකුගේ ඇඟිලි සපා කයි’ යනුවෙන් පුවතක් ඇසෑම් පුවත්පත්වල පළ වුණේ කවුරුත් මවිත කරමිණි. ඇලි ඇතුන් මිනිසුන්ට පහර දෙන බව සැබෑය. එවැනි සිදුවීම නිරන්තරයෙන් අසන්නට ලැබේ.
ඒත් ඇතකු වනාන්තරයට ආ සංචාරකයකුගේ ඇඟිලි සපා කෑම පුදුමසහගතය.
පුවත්පත්වල පළවූ විස්තරයට අනුව සිදුවී ඇත්තේ මෙවැන්නකි. කාසිරංග වනෝද්‍යානය නැරැඹීමට ආ සංචාරකයකු ඇතාට ද කෙසෙල් කැවීමට ගොස් ඇත.
කෙසෙල් ගෙඩි හොඬවැලට දෙනු වෙනුවට සංචාරකයා එය ඇතාට කැවීමට උත්සහ ගෙන ඇත. කෙසෙල් ගෙඩිත් සමඟ ඇඟිලි ද ඇතාගේ දත්වලට හසුවී ඇත.
සිද්ධිය ගැන වැඩිදුර විමසා බලද්දී, කාසිරංග වනජීවී නිලධාරීන්ගෙන් ඇත්ත කතාව මෙසේ දැන ගන්න ලැබෙයි. පුවත්පත්වල ඇතකු යැයි කීවත් මෙම සිද්ධියට සම්බන්ධ අවුරුදු 5 ක් වයසැති හීලෑ ඇත් පැටවෙකි.
ඇත්ගොව්වා සමඟ සිටි එම පැටවාට සංචාරකයා කෙසෙල් කවද්දී, සංචාරකයාගේ එක් ඇගිල්ලක් පමණක් පැටවාගේ දතකට හසුවිය. සිදුවූයේ කුඩා තුවාලයක් පමණි.
කාසිරංග වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන්පොළ වන්නේ ‘බොනානී’ සංචාරක නිකේතනයයි.
මෙම සංචාරක නිකේතනය ඇත්තේ ඇසෑම් සංචාරක අමත්‍යාංශය යටතේය. සංචාරක නිකේතනයට පැමිණ, පිළිගැනීමේ නිලධාරිනිය හමුවීමට යද්දී, බිත්තියේ දකින්න ලැබෙන්නේ දැවැන්ත කබරගොයෙකි. බැලූ බැල්මට පණ ඇති යෝධයෙකි. සංචාරකයන් බොහෝ දෙනා පිළිගැනීමේ නිලධාරිනිය හමුවට පැමිණෙන්නේ මේ යෝධ උරගයා නැරැඹීමෙන් පසුවය. ‘මෙයාට පණ තියෙනවාද?’ යන්න පිළිගැනීමේ නිලධාරිනියගෙන් නිතර ඇසෙන පැනයකි.
ඇය එම පැනය අසන තෙක් ආසාවෙන් බලා සිටින්නීය.
හේතුව, ඒ කබරගොයාගේ කතාව ඇය සංචාරකයන්ට පැවැසීමට සැදී පැහැදී සිටින බැවිනි. පිළිගැනීමේ නිලධාරිනියට අනුව ඒ කතාව මෙසේය.
මීට වසර කීපයකට පෙර, මේ දැවැන්ත කබරගොයා සංචාරක නිකේතනයේ ජෙනරේටර් කාමරයට රිංගා ඇත. එහිදී ඌ විදුලි සැර වැදී මියගියේය.
පශු වෛද්‍යවරයා පැමිණ ඌට යමක් එන්නතක් කර තිබේ. මියගිය කබරගොයා අද පණ පිටින් සිටිනවා ලෙස පෙනෙන්නේ එහෙයිනි.
කාසිරංග වනෝද්‍යානයට සංචාරකයන් පැමිණෙන්නේ, සුප්‍රකට රයිනෝසිරස් සතුන් දැක ගැනීමටය.
ඔය අතරතුරේ ව්‍යාඝ්‍රයකු දකින්න ලැබීම අමතර වාසියකි. ව්‍යාඝ්‍රයකු දැක ගැනීමට නම් වාසනාව තිබිය යුතුය.
කොල්කටාවෙන් ආ බෙංගාල පවුලක් රයිනෝ සතුන් බැලීමට ගිය අවස්ථාවක ඔවුන්ට රයිනෝ සතුන් වෙනුවට දකින්න ලැබී ඇත්තේ එක ව්‍යාඝ්‍රයකු පමණි.
ව්‍යාඝ්‍රයා දැක සතුටට පත් පිරිස මහ සද්දෙට කෑ කෝ ගසා ඇති අතර, එම ඝෝෂාවට බිය වී ව්‍යාඝ්‍රයා වනයට වැදී නොපෙනී ගියේය.
පැය ගණනක් වනෝද්‍යානයේ ගත කළත් වෙන කිසිදු සතකු දැකීමට පිරිසට නොහැකි විය.
උතුරු ඉන්දියානුවෝ නිර්මාංශ ආහාරවලට හුරු වී සිටිති. නොයෙක් නොයෙක් විදියට පරිප්පු ආහාරයට ගනිති. මටාර් පනීර් ද ප්‍රියතම ආහාරයකි.
මටාර් පනීර් යනු උතුරු ඉන්දියාවේ ප්‍රකට ඇට වර්ග, තක්කාලි, බත්, යෝගට් ආදිය ද යොදා සාදා ගන්නා රස කෑමකි. වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනකු කෑමට රැගෙන එන්නේ පරිප්පු සහ මටාර් පනීර් සමඟ එළවළු බුරියානි, සහ මන්සූර් ටෙන්ගා (මාළු ව්‍යංජනයක්) ආදියයි.
ඉතිරි වන කෑම, වනජීවී නිලධාරීන් ‘එපා’ කියා තිබියදී වනාන්තරයේ තැන් තැන්වලට වීසි කරයි. කාසිරංග වනෝද්‍යානයට ආවේණික රයිනෝ සතුන්ගේ ප්‍රියතම ආහාරයක් වී ඇත්තේ පරිප්පු සහ මටාර් පනීර් ය. දැන් රයිනෝලාට පරිප්පු සහ මටාර් පනීර් නැතිවම බැරිය.
සෑම දිනකම සවස රයිනෝ රංචුවක් වනජීවී නිලධාරීන්ගේ බංගලාවට අසලට පැමිණෙන අතර, පරිප්පු සහ මටාර් පනීර් නැතිනම් උන් ආපසු යන්නේ නැතැයි පැවැසෙයි.
එහෙයින් වන ජීවී නිලධාරීන් ඔවුන්ගේ කෑම පිළියෙළ කරද්දී රයිනෝ සතුන් වෙනුවෙන් ද පරිප්පු සහ මටාර් පනීර් පිළියෙළ කිරීමට ද සිදුවී ඇත.
‘ද වීක්’ සගරාව ඇසුරිනි