අද තෛපොංගල් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 14, 2021

අද තෛපොංගල්

දමිළ - හින්දු භක්තිකයන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ. තෛපොංගල් යන්නෙහි අරුත “අස්වනු නෙළීමේ උත්සවය” යන්නය.

කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම තෛපොංගල් උත්සවයේදී සිදුවෙයි.

ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වන නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙවර තෛපොංගල් උත්සවය, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී සමරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කර තිබේ. 

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බව තෛපොංගල් වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත. 

කළගුණ සැලකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසා ඇත.

නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කෙරෙන තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංඛේතවත් කරන බවත්, තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටක් පැහැදිලි කර තිබේ.

තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ තෛපොංගල් පණිවුඩයේ සඳහන් වෙයි.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු යනුවෙන් සඳහන් කරමින් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කරමින් පවසා ඇත.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ 'අස්වැන්න නෙලීමේ උත්සවය' යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර  පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවය.

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි යැයි සජිත් ප්‍රේමදාස මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් මහතා පෙන්වා දී තිබේ.
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දෙමළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. 

පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමඟ එය බැඳී පවතී.  

'පොංගල්' යන දමිළ වචනයේ අදහස වන්නේ 'ඉතිරීම' ය. මැටි කළයක කිරි ඉතිරීම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස දෙමළ වැසියෝ විශ්වාස කරති. 

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සැරසීම ද සිදුවෙයි‍. 

දෙමළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom