ට්‍රම්ප්ට ද්‍රෝහි වෙන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 13, 2021

ට්‍රම්ප්ට ද්‍රෝහි වෙන්නේ නෑ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධුරයෙන් නෙරපා දැමීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය, කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ දෝෂාභියෝගයට තමන් සහාය නොදක්වන බව ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳ ගැටලුවක් ඇති නම් හෝ ජනාධිපතිවරයාට සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට නොහැකි නම් හෝ ඇමෙරිකන් ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනයට අනුව, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට උප ජනාධිපතිවරයාට බලය ඇත.

ඒ සඳහා කොංග්‍රස් නියෝජිතයන්ගේ ද සහාය අවශ්‍ය වෙයි.

25 වැනි සංශෝධනයට අනුව ක්‍රියා කරන්නැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි උප ජනාධිපකි පෙන්ස්ගෙන් අවස්ථා කීපයකදී ඉල්ලීමක් කළ නමුත් පෙන්ස් එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. 

නැන්සි පෙලෝසි ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන අතර,  ඇමෙරිකා කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය.

ජනපති ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත් වුණු අතර ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ය. 

බයිඩන් ජනාධිපතිවරණය ජයගත් නමුත්, ට්‍රම්ප් පරාජය ප්‍රතික්ෂේප කළේය. 

පසුගිය 6 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය රැස් වූයේ බයිඩන්ගේ ජය තහවුරු කිරීමටය. 

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීමෙන්’ කුපිත වූ ට්‍රම්ප් ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී, කොංග්‍රස් සැසියට බාධා කළහ. 

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික්වරුන් පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom