එන්නත් ඉල්ලා ජනපතිගෙන් ලිපියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 15, 2021

එන්නත් ඉල්ලා ජනපතිගෙන් ලිපියක්

කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා ට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.

එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා  කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.
චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා ශ්‍රී ලංකා තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, කීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ශ්‍රී ලාංකික තානාපතිවරයා ලෙස පිළිගැනීමට චීනය සතුටු වන බව සදහන් කර ඇත. 

ආචාර්ය කොහොන මහතා මෙම හමුවේදී  කොවිඩ්-19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ චීනයේ ධුර කාලය තුළ දී තමාගේ  ප්‍රමුඛතා පිළිබඳව හොං මහතාට විස්තර කළේය. 

දෙරට අතර ඓතිහාසික, දීර්ඝ කාලීන හා අනෝ‍යන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළ ආචාර්ය කොහොන මහතා  ඉදිරි වසරවල දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් බාර ගත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඊට ප්‍රතිචාර දක්වමින්, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කළේය. 

අතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති බවත් , අනාගතයේ දී ද චීනය මිතුරෙකු ලෙස සැලකිය හැකි සේම වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී  ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

Classified_Ad

Classified_Ad_News_Bottom