සූ කී අධිකරණය හමුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 15, 2021

සූ කී අධිකරණය හමුවට

ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකී මේ සතියේදී අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ඇයගේ නීතිඥවරයා වන කින්ග් මවුන්ග් සෝ පවසා තිබේ. 

ඉකුත් 1 වැනිදා මියන්මාර හමුදාව එරට බලය අල්ලා ගත් අතර නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත්තේ ය. 

 මියන්මාරයේ හමුදා ජුන්ටාව අවුන් සාන් සූකීට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර එම චෝදනා විභාගයට ගැනීම සඳහා මෙලෙස ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. 

අවුන් සාන් සූකී විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වනු ඇතැයි ද ඇයගේ නීතිඥවරයා කීය. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය. 

කෙසේ නමුත් මැතිවරණයේදී වංචා සිදු වූ ඇතැයි මියන්මාර හමුදා පාලනය දිගින් දිගටම චෝදනා කළේය. මහ මැතිවරණයෙන් පසු පළමු වරට මියන්මාර පාර්ලිමේන්තුව ඉකුත් 1 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි. 

පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය අත්පත් කරගත්තේ ය. මියන්මාර හමුදාවේ අත්ඩංගුවට පත්ව සිටින නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී මේ වනවිට 75 වැනි වියේ පසුවෙයි. 

ඇයගේ නිවසේ තිබී ‘වෝකී-ටෝකී’ ඇතුළු සන්නිවේදන උපකරණ හමු වූ බවත් ඒවා ට කිසිදු නෛතික අවසරයක් නැති බවත් නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ ආනයනය කළ බවටත් අවුන් සාන් සූකී ට චෝදනා එල්ල වී තිබේ. 

 මියන්මාරයේ ජනාධිපති වින් මින්ත් ද අවුන් සාන් සූකී මෙන් හමුදා අත්අඩංගුවට පත්ව සිටියි. නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. 

ජනාධිපති වින් මින්ත් ගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සිය ගණනක් සම්බන්ධ වූහ. 

ඔවුන් දෙදෙනාගෙන් හෙට සහ අනිද්දා යන දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව ද අවුන් සාන් සූකීගේ නීතිඥවරයා පැවැසීය. 

අවුන් සාන් සූකීගේ සහ මියන්මාර ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ කරනු ඇතැයි ද හෙතෙම කීය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom