වී ඇටයක් තරම් කටුස්සෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

වී ඇටයක් තරම් කටුස්සෙක්

මැඩගස්කර් රාජ්‍යයෙන් වී ඇටයක් තරම් කුඩා නව කටුසු උප විශේෂයක් සොයා ගැනීමත් සමඟ මිහිතලය මත වාසය කරන කුඩා ම උරග විශේෂය සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. 

ජර්මානු සහ මැඩගස්කර් විද්‍යාඥයන් පිරිසක් එක් ව මැඩගස්කර් රාජ්‍යයේ වනගත පෙදෙස්හි සිදු කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස නව කටුසු විශේෂය සොයා ගෙන ඇත.

බෘකේසියා නැනා නම් මේ කටුස්සකුගේ හිස ඉදිරිපස සිට වල්ගය කෙළවර දක්වා දිග මිලිමීටර් 22 කි. 

ගැහැනු සත්ත්වයකුගේ දිග මිලිමීටර් 27 කි. ජර්මනියේ මියුනික් නගරයේ පිහිටි බැවේරියානු රාජ්‍ය සත්ව විද්‍යා එකතුවට අනුව මිහිතලය මතින් දැනට සොයාගෙන ඇති 11,500 කට ආසන්න උරග විශේෂයන් අතුරින් කුඩා ම සත්ත්වයා ලෙස නව කටුසු විශේෂය සැලකේ. 
නව කටුසු විශේෂය හමු වි ඇත්තේ මැඩගස්කර් රාජ්‍යයේ උතුරු පෙදෙසෙහි ඇති වැසි වනාන්තර තුළිනි.

වන විනාශය හේතුවෙන් මෙම සතුන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති නමුත් මෙම කටුස්සන් බහුලව වෙසෙන උතුරුදිග මැඩගස්කරයෙහි වනාන්තර කලාපය තවමත් සුරක්ෂිතව ඇති බව නිරීක්ෂණය වී ඇත. 

මැඩගස්කරයට ආවේණික මේ නව කටුසු විශේෂය ආරක්ෂා කර ගැනීමට නම් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය යටතේ ඇති ඉතා බරපතල ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව ලැයිස්තුවට ඇතුළත් කර මෙම සත්ව විශේෂය ආරක්ෂා කිරීමට පියවර ගැනීම සිදු කළ යුතු බව පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති. 

 ෴සංජය ගුණසේකර 
      බී.බී.සී. ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom