ඔක්ස්ෆර්ඩ් එන්නතට WHO අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නතට WHO අනුමැතිය

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක්වී නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අද (11) හිමිවිය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතට මෙසේ අනුමැතිය ලබා දුන්නේ, එම එන්නත සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය. 

‘කොරෝනා අඩපණ කිරීමට නිපදවා ඇති එන්නත් කිසිවක් සියයට සියයක් සාර්ථක නැහැ. ඒත් නිපදවා ඇති එන්නත් අතරින්, ඔක්ස්ෆර්ඩ් එන්නත ඉදිරියෙන් පසුවන බව කියන්න ඕනෑ. 18 වැඩි තරුණයන්ටත් 65 ට වැඩි වැඩිහිටියන්ටත් එය සුදුසු බව අප නිර්දේශ කරනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් අලෙහැන්ද්‍රෝ ක්‍රැවිටෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් එහෙත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමඟ එක් වී, ලොව දිළිඳු රටවලට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, ඒ සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත සුදුසු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දී ඇත.

ඉන්දියාවේ පූනේ නුවර පිහිටි ’සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම මහා පරිමාණයෙන් ප්‍රතිනිෂ්පාදනය කරන්නේ ද මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතය. ඒ, ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ඉන්දිය රජය, ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලටත්, අප්‍රිකා සහ මැදපෙරදිග රටවලටත් ප්‍රදානය කර ඇත්තේ එම ‘කොවිෂීල්ඩ්’ එන්නතය. 

දකුණු අප්‍රිකාව මේ වනවිට ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, එරට පැතිරෙන ‘කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේදය හේතුවෙනි. එම විකෘති ප්‍රභේදය අඩපණ කිරීමට ඔක්ස්ෆර්ඩ් එන්නතට හැකියාවක් නොමැති බව දකුණු අප්‍රිකා සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර නිර්දේශ කළේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම නිපදවූ එන්නතය. එම එන්නත මිල අධික වන අතර, එය කල් තබා ගැනීම අසීරුය. 

ඔක්ස්ෆර්ඩ් එන්නත මිල අඩු අතර සාමාන්‍ය නිවසේ ශීතකරණයක පවා කල් තබා ගැනීම කළ හැකි බව පැවැසෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom